දින 14ක් ලොක්ඩවුන් කරන්න – සෞඛ්‍ය විශේඥයන් | නෑ සංචරණ සීමා විතරයි – ජනපති “දැන් ජනතාවට ඉතුරු මරණය පමණද?”

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ගාලු වරායට ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් තුළ ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ 203395ක් නීතියට පටහැනිව බලපත්‍රයක් නොමැතිව තබාගෙන සිටියා යැයි යහපාලන කාලයේ ගොනුව තිබූ නඩුවක තීන්දුව පසුගිය මැයි 21 දා නිකුත් විය. එයින් කියවුණේ පැමිණිල්ලට අදාළ චෝදනාව සාධරණ සැකයකින් තොරව ඔප්පුකරගන්නට නොහැකිවී ඇති බවය. ඒ අනුව නිශ්ශංක සේනාධිපති සියලු චෝදනාවලින් නිදහස් කරන්නට ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල කටයුතු කළේය. මීට සමගාමීව කොත්මලේ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් චමිල ජයසිංහ 21 දා දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ ෆේස්බුක් සමාජ මාධ්‍ය අවකාශය තුළ සිංහරාජ වනාන්තරය සම්බන්ධ සිදුවිමකට අදාළ පුවතක් මාස කිහිපයකට පෙර අන් අය සමග බෙදාගෙන ඇති බව යන චෝදනාවකට අදාළවය. ඒ සමගම 21 දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සෞඛ්‍ය සේවකයින්ට කොවිඩ් තත්ත්වය පිළිබඳව මාධ්‍යට අදහස් දැක්වීම තහනම් කරමින් ලිපියක් යොමුකර තිබිණි. මේ ආසන්න දිනකදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් වන වෛද්‍ය චමල් සංජීව හට විනය පරීක්ෂණයක් කැඳවා ඇතැයි වාර්තාවුණේ මාධ්‍යට කොවිඩ් තත්ත්වය පිළිබඳව කරුණු කී නිසා ය. පසුගිය සතිය මෙවැනි සිදුවීම් රැසක් සමගින් ගෙවී යන අතර තුර දෛනිකව වාර්තාවෙන කොවිඩ් ආසාධිතයන්ගේ ප්‍රමානය තුන්දහසේ සීමාව පසු කළේය. මේ පිළිබඳව අදහස් දක්වමින් විශේඥ වෛද්‍ය සහ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ වාර්තාවෙන රෝගීන් ප්‍රමානය මෙන් තුන් ගුණයක රෝගීන් ප්‍රමානයක් සමාජය තුළ සිටිය හැකි බව තමන් අනුමාන කරන බවය. තත්ත්වය මෙලෙස එන්න එන්නම බරපතළ වෙමින් තිබෙන තත්ත්වය තුළ පසුගිය මැයි 21 දා රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිලවශයෙන් ප්‍රකාශ කළේ එදින තුළ මරණ 44ක් වාර්තා වෙන බවය. මේ සමග සමස්ථ මරණ සංඛ්‍යාව 1132 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කරතිබුණි.

වෛද්‍යවරුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශය

මෙම තත්ත්වය හමුවේ පසුගිය මැයි 21 දා ඒකාබද්ධව මාධ්‍ය හමුවක් තබන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යායතන කමිටුව ප්‍රකාශ කරන්නේ මෙම සති අන්තයේ ක්‍රියාත්මක සංචරණ සීමාවන් දින 14ක කාලයක් සඳහා බලාත්මක කරන ලෙසය. ඔවුන් එහිදී මෙලෙස දින දෙක තුනක් සංචරණ සීමා පැනවීම සහ නැවත ලිහිල් කිරීම තේරුමක් නැති දෙයක් බවද අවම දින 14ක කාලයක් සඳහා සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළහොත් පවත්නා ව්‍යසන තත්ත්වය වෙනස් කර ගත හැකි බවද ප්‍රකාශ කළේය. සෞඛ්‍ය අංශය හා බැඳුන වසංගත සහ ප්‍රජා වෛද්‍ය විෂය පිළිබඳ ප්‍රමානිකයන් සිල්ලගේම පාහේ අදහස මේකය. ඔවුන් සැවෝම එක හඬින් කියන්නේ මේ ව්‍යසන චක්‍රය කඩාගැනීමට වහාම සති දෙකක කාලයකට අවමව රට වසා දැමිය යුතු බවය. නැතිනම් ලොක්ඩවුන් කළ යුතු බවය. මෙම වසංගත තත්ත්වය පිළිබඳව සක්‍රීයව වැඩකරන රාජ්‍ය අමාත්‍යවරියගේ අදහස ද දින 14ක කාලයකට ජනතාව සිය නිවෙස්වලට සීමා කළ යුතු බවය. ඇය කියන්නී එසේ නොකොට මේ සයිකල් එක කඩාගැනීමට නොහැකි බවය. මේ සමගම සෞඛ්‍ය අංශ දෙසින් ආණ්ඩුවට එන චෝදනාව වන්නේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතයට ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව ඇහුන්කන් නොදෙන බවය. පොදු ජනතාව ලෙස අපිට පෙනෙන්නට තිබෙන්නේද එයයි.

පසුගිය මැයි 21 ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන ජනාධිපති කාර්‍යසාධක බලකාය රැස්වෙන අතර එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ තමන්  කොවිඩ් පාලනය පිළිබඳ සියල්ලම කරන්නේ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බවය. ඉතිං අපට ජනාධිපතිවරයාගෙන් අසන්නට වෙන්නේ ඔහු මේ ප්‍රකාශ කරන විශේෂඥ කණ්ඩායම කවුද යන්නයි. එහිදී ඔවුන් සෞඛ්‍ය නිළධාරීන්ට පොඩි තරවටුවක් ස්රූපයෙන් කියා ඇත්තේ, දෙයක් වේනම් ජනතාව බියගන්වන්නේ නැතුව එය තමන්ට දන්වන ලෙසය. මේ නොකියා කියන්නේ ජනතාවට සත්‍ය කියන්න ලෑස්තිවෙන්න එපා කියා ය. එනිසා අප ජනාධිපතිවරයාට කියන්නේ ජනතාවට මෙම ව්‍යසනයේ ඇත්ත දැනගැනීම සඳහා අයිතියක් ඇති බවය. එනිසා ජනාධිපතිවරයාට අප කියාසිටින්නේ ඇත්ත සැඟවීම පසෙක ලා හමුදාව කියන දේ හෝ දේශපාලකයින් කියන දේට හෝ ප්‍රමුඛතාවය නොදී සෞඛ්‍ය විශේෂඥ අදහස්වලට දැන්වත් කන්දී ඔවුන්ට මෙම වසංගතය පාලනය කිරීම සඳහා නිදහස ලබා දෙන ලෙස ය. එය එසේ නොවුණ හොත් ලංකාව තවත් දිල්ලියක් වීම නොවැළැක්විය හැකිය. එය ඕනෑම මෝඩයෙකුට පේන වර්තමාන ඇත්ත චිත්‍රයයි.

ළමා මරණ සහ සංචරණ සීමා බොරුව

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියන ලෙස මේවනවිට ළමයින් 1000කට පමණ මෙම වෛරසය ආසාධනය වී ඇත. ඒ අතරින් 5 දෙනෙකු පමණ මියගොස් ඇත. අනෙක් පැත්තෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්තවලට අනුව වැඩිම මරණ ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ වයස අවුරුදු 61 ත් 75ත් අතර ය. එහි ප්‍රතිශත අගය 42.33%කි. මෙයින්ද පෙනෙන්නේ ඉදිරි කාලය තීරණාත්මය බවය. සෞඛ්‍ය විශේෂඥයන් කියන ලෙස මේ චක්‍රය බිඳ දැමීමට නොහැකිවුණොත් අපගේ සෞඛ්‍ය අංශය ද රට ද කඩාවැටෙනු ඇත. එවැනි තත්ත්වයක දී ආරක්ෂා කරගන්නට ආර්ථිකයක්ද ඉතුරු නොවෙනු ඇත. ලොක්ඩවුන් කියන සංකල්පය සහ එහි ක්‍රියාත්මක වීම ගැන සලකන්නේ නම් ලංකාවේ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා නම් ක්‍රමය විහිළුවක් බව කිවයුතුය. නියමිත ක්‍රමයට ලොක්ඩවුන් කරන්නේ කෙසේද කියා ආණ්ඩුවට දැනගන්නට අවශ්‍ය නම් ඕස්ට්‍රේලියාව දෙසට තම දෑස යොමුකළ හැකිය. ජනජීවිතය අඩාල නොකරගෙන, රෝගය ව්‍යාප්තියත් පාලනය කරගන්නේ කෙසේද යන්න එයින් වැටෙහෙනු ඇත. එහෙත් අපි එහෙම ඉගනගන්නා ජාතියක් නොවෙන පසුබිමක මේවැනි විකාරයන් වලින් ගොඩයන්න දැගලීම අරුමයක් නොවේ.

21 දා පැවති කොවිඩ් මර්දන ජනාධිපති කාර්‍යසාධක බලකා රැස්වීමේ දී චූන් පාන් රථ සඳහා සහ ගෙවල්වලටම ගොස් එළවළු වියලි ආහාර ද්‍රව්‍ය බෙදන වෙළෙන්දන්ට සහ මාළු වෙළෙන්ඳන්ට ඒ සඳහා අවසර දෙන බව ප්‍රකාශ විය. මේ පිළිබඳව මේ ලියුම්කරුගේ අත්දැකීමට අනුව යමක් ප්‍රකාශ කරන්නේ නම් කිව හැක්කේ නිසි පරිදි මුව ආවරණයක් හෝ නොපළඳින චූන්පාන් වෙළෙන්ඳන් රෝග වාහකයෙක් විය හැකි බවය. එනිසා මේවා පිළිබඳව සොයා බැලීම සහ නියාමනය ආණ්ඩුව සතු යුතුකමය. එනිසා නිසි පරිදි ලොක්ඩවුන් ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ආණ්ඩුව සිය අවධානය යොමුකළ යුතුය. අනෙක් පැත්තෙන් ආණ්ඩුව උද්දච්චකමට මේ සියල්ල පසෙකලා සංචරන සීමාවන් පැනවීම පමණක් ක්‍රියාත්මක කරන්නේ නම්, අපට කියන්නට තිබෙන්නේ එය හෝ දියාරුව බොරුවට නැතුව නියමාකාරයට ක්‍රියාත්මක කරන ලෙසය. එය එසේ නොවුන හොත් ඊළඟ මරණ දහස දින දෙක තුනකදී සම්පූර්ණ වෙනු ඇත. එවිට කිඹුල් කඳුළු තේරුමක් නැත.

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග