ෆෙස්බුක් ඡායාරූපයකට ක්‍රියාත්මක නීතීය, අසත්‍ය පැවසූ යු ටියුබ් නාලිකාවට නැතිද?

කොවිඩ් වසංගතයේ උණුසුම රට පුරා පැතිර යද්දී ඊයේ (21) දහවල් අසන්නට ලැබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොත්මලේ ඉඩම් නිරවුල් කිරීමේ සහකාර අධ්‍යක්ෂකවරයාව  නිලධාරියාව අත්අඩංගුවට ගත් පුවතය.

මොහුව අත්අඩංගුවට ගෙන තිබුණේ මහජනතාව තුල අවිශ්වාසය හා අප්‍රසාදය ඇති වන අයුරින් මුහුණ පොතේ අසත්‍ය ප්‍රචාරයක් සිදු කළ බවට චෝදනා කරමිනි.

මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණේ හතලිස් දෙහැවිරිදි චමිල ජයසිංහ නම් රජයේ නිලධාරියෙකි. මොහු ඌව පරණගම හිටපු ප්‍රාදේශිය ලේකම්වරයාය.

මොහු සිය මුහුණුපොත හරහා වන විනාශයක් ගැන සඳහන් වෙන ඡායාරූප පළ කර ඇති බවත් ඒවා අසත්‍ය  බවත් විමර්ශන වලදී හෙළි වී ඇත්තේ ඒ ඡායාරූප සාමාන්‍ය ඉඩමක් ශුද්ධ පවිත්‍ර කිරීමකදී ලබා ගත් ඒවා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශ, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියි.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ මොහු වරදක් සිදු කර ඇති බවත් ඒ අනුව මොහුව අද (22) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

චමිල ජයසිංහ යනු  සෘජුව කථා කරන නිලධාරියෙකි. මොහු ගැමි ජනතාවගේ ආදරයට පාත්‍ර වූ අයෙක් වන අතර පරිසර කටයුතු වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු අයෙක් ලෙස සැලකේ. නමුත් මොහු මුහුණුපොතේ සිදු කළ පළ කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේය.

මෙහිදී අපට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඇසීමට  කරුණක් ඇත. එනම් මැයි 01 දා සිට මුලු රටම වසන බව පැවසූ යූ ටියුබ් නාලිකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද වෙනතුරු ගත් පියවර කුමක්ද යන්නයි.

පහුගිය මැයි 01 දා සිට මැයි 17 දක්වා මුලු රටම වසන බව බ්‍රේකින් නිවුස් ඔස්සේ රටට පැවසු විශ්ව දෙරණ යූ ටියුබ් නාලිකාව නිසා මැයි 01 දා රටේ ජනතාව අනිසි කලබලයකට පත් විය. මිනිසුන් පෝලිමේ බඩු ගන්න දිවූහ. ඒ වන විටත් අතේ සතේ නැතුව සිටි ඇතැම් පිරිස් හීල්ලුවේය.

නමුත් අවසානයේ දැන ගැනීමට ලැබුණේ එය අසත්‍ය පුවතක් බවය. මේ පුවත පළ වීමෙන් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුයේ මේ යූ ටියුබ් නාලිකාව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇති බවය.

රටේ ජනතාව බලාපොරොත්තු වුයේ මේ අසත්‍ය පුවත් පතුරා මුලු රටම කලබල කල පිරිස අත්අඩංගුවට ගනියි යන්නය.  නමුත් අද වෙනතුරුත් ඒ සම්බන්ධ ගත් ක්‍රියා මාර්ගයක් පෙනෙන්නට නැත.  එසේම වෙනදා මෙන් ඒ යු ටියුබ් නාලිකාවද වැඩ කරගෙන යන්නේය.

මෙය මුහුණු පොතේ ඡායාරූපයක් පළ කරනවාට වඩා බරපතලය. නමුත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වුයේ නැත. ඒ වෙනුවට මුහුණු පොතට නම් දැන් වෙනදාටත් වඩා නීතීය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇත. මේවාද මහජනතාව තුල අප්‍රසාදය ඇති කරවන කරුණු බව අදාල බලධාරීන් සිහි තබා ගැනීම සුදුසුය.

-ශානි-

Social Sharing
නවතම