සෞඛ්‍ය අංශ වල කට වැසීමක්?

රට පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතයත් සමඟ මේ වන විට දිවයිනේ රෝහල් ධාරිතාව ඉක්මවා යමින් තිබෙන බව අප කවුරුත් දන්නා කරුණකි. මෙම තත්ත්වයත් සමඟ රෝහල් වල විවිධ අඩුපාඩු, විවිධ අවශ්‍යතා මතු වෙමින් ඇත.

පහුගිය දිනෙක කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ අවස්ථාවේ ලබා දිය හැකි පරිත්‍යාගයක් රෝහල් වලට ලබා දෙන ලෙසටය.

මේ අතර ගම්පහ රෝහලේ පෙනහළු පිලිබඳ වෛද්‍යවරයෙක් කොලඹ විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කළ ලිපියකින්ද කියා තිබුණේ ගම්පහ රෝහලේ පවතින අවදානම් තත්ත්වය පිලිබඳවය. එම ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වීමත් සමඟ අමාත්‍ය සුර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වහාම රෝහලට ගොස් අඩුපාඩු බැලුවාය. එහිදි තිබු අඩුපාඩු රැසකට ඇය ඒ අවස්ථාවේම විසඳුම් ලබා දී තිබුණි.

නමුත් මෙය ඇතැම් දේශපාලඥයින්ට රිදුමට කරුණක් වී ඇත. ඔවුන් කියා සිටින්නේ අඩුපාඩු නැති බවය. සියල්ල රජයෙන් සම්පුර්ණ කරන බවය. ඔවුන් මෙසේ කියද්දි යමක් පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙකුට පවා ඒවා ලබා දීමට සිතෙන්නේ නැත.

මෙය රෝගී ජීවිත අවදානමේ හෙලිමකි. රෝහලකට අඩුපාඩු දෙයක් පරිත්‍යාගශිලියෙකුගෙන් ලැබෙන්නේ නම් එය රෝගී ජීවිත රැකීමට උපකාරී වන්නකි. කෙසේ නමුදු මේ ආකාරයට ගම්පහ පමණක් නොව දිවයිනේ වෙනත් රෝහල් වල පවතින අඩුපාඩුද මාධ්‍ය වල පළ වීම දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයට/ දේශපාලන අධිකාරියට හිසරදයක් වී ඇත.

ඒ නිසා වහාම සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල කට වැසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්  මේ වන විට පියවර ගෙන ඇත.

එනම් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස්.එච් මුණසිංහ මහතාගේ අත්සනින් යුක්තව  සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරු, සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලුම ආයතන ප්‍රධානීන්, සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු, සියලුම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු ඇතුලු සියලුම නිලධරයන් වෙත ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධ ලිපියක් යවා ඇත.

එහි කියා ඇත්තේ විවිධ දත්ත තොරතුරු ලබා දීම, සෞඛ්‍ය ප්‍රතිපත්ති විවේචනය කිරීම තුලින් ජනතාවට විධිමත් සෞඛ්‍ය සේවාවක් සැපයිමට බාධාවක් වී ඇති බවත් එය මහජනතාවගේ විශ්වාසය බිඳ වැටීමක් බවය.

ඒ නිසා එවැනි කටයුතු මින් ඉදිරියට නොකරන ලෙසත් ඒවා නොසලකා කටයුතු කරන සියලු පුද්ගලයින්ට එරෙහිව විනයානුකූල ක්‍රියා මාර්ග ගන්නා බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ සිදු කර ඇත්තේ සත්‍ය එළියට ඒම වළකාලීමකි.

-ශානි-

Social Sharing
නවතම