එක දිගට සංචරණ සීමා පැනවීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් විරෝධයක්!

පවතින ‌කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් හෙට (21) සිට ලබන 25 දක්වා සංචරණ සීමා දැමීමට නියමිතව ඇත. එසේම  නැවත 25 දා රාත්‍රියේ සිට 28 දා අලුයම තෙක් සංචරණ සීමාවන් පැනවීමට රජය කටයුතු යොදා ඇත.

නමුත් මෙම සංචරණ සීමාවන් පැනවීම සම්බන්ධයෙන් මුදල්, ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැඩි ලෙස විරෝධය පළ කර සිටියි.

ඔහු පෙන්වා දෙන්නේ රට වැසුවහොත් සිදුවන පාඩුව අතිමහත් බවත් ඒ නිසා රට  නොවසා කොවිඩ් පාලනය කර ගන්නා ලෙසත් මේ තීරණය ගැන දෙවරක් සිතා බලන ලෙසත්ය.

දිවයින පුරා පසුගිය (13) දා සිට 16  දින තෙක් දින හතරේදී ක්‍රියාත්මක කෙරුණු සංචරණ තහනම හේතුවෙන් රටේ ආර්ථිකයට රුපියල් කෝටි 6000 ඉක්මවන පාඩුවක් සිදු වු බව පහුගියදා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හෙළි කර තිබුණි.

සංචරණ තහනම හේතුවෙන් දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් දිනකට අහිමි වූ මුදල රුපියල් කෝටි 1500 කට අධික බවට ඔහු ගණන් බලා තිබුණි.

ඔහු පවසන්නේ රට දින දහයක් වසා දැමුවොත් දළ ජාතික නිෂ්පාදිතයෙන් අහිමි වන මුදල රුපියල් කෝටි 15000ක්(බිලියන 150ක්) ක් බවත් එය මුළු නිෂ්පාදිතයෙන් සියයට එකක ප්‍රතිශතයක් බවය.

රටේ සමස්ත දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් කෝටි පහළොස් ලක්ෂයකි. මේ අනුව දිනක නිෂ්පාදිත වටිනාකම රුපියල් කෝටි 4100 කට අධිකය.

කුඩා ආර්ථිකයක් සහිත රාජ්‍යයක් හෙයින් රට නොවසා කොවිඩ් කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙලකට ගමන් කිරීම ඉතාම වැදගත් බවත් මේ අවස්ථාවේදී වැසිය යුත්තේ රට නොව ජනතාවගේ කට බවත්  මුඛ ආවරණ ලබාදී ජනතාවගේ කට වැසීමෙන් කොවිඩ් පාලනය කරගත හැකි බවත් ඒ සඳහා වැයවන්නේ බිලියනයක මුදලක් පමණක් බවත් අජිත් කබ්රාල් මහතා ප්‍රකාශ කර ඇත.

-ශානි-

Social Sharing
නවතම