කාබනික පොහොර ප්‍රචලිත කිරීමට යාමෙන් රජරට ගොවියා අනාතයි!

පැවති ආණ්ඩු සියල්ලම දේශීය බීජ සියල්ල විනාශ කර දෙමුහුන් බීජ හා ඊට සරිලන රාසායන ද්‍රව්‍ය රටට ගෙන්වා දැන් රසායනික පොහොර තහනම් කර කාබනික පොහොර ප්‍රචලිත කිරීමට යාමෙන් රජරට ගොවියා අනාතවී ඇති බව හුරුළුවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති හා අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් එච්.ඒ උපාලි මහතා පැවසුවේය.

රජය මගින් පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමත් සමග වෘත්තිය ගොවියා මුහුණදී ඇති තත්වය ඉතා ඛේදජනක බව පවසමින් හුරුළු වැව ගොවින් පිරිසක් එක්ව ඊයේ (20දා) උදෑසන සංවිධානය කළ මාධ්‍ය හමුවදී ඒ මහතා මේ බව පැවසුවේය. එහිදී කථා කළ සභාපතිවරයා.

වසර ගණනාවක් තිස්සේ ගොවිතැනෙන් ජීවිතය සරිකරගත්ත රජරට ගොවින්ගේ පවුල් නඩත්තු කරන්නේ කොහොමද කියන අවනඩුව කියන්න තමයි මේ මාධ්‍ය හමුව කැඳවූයේ. කොරොනා වසංගත තත්වය එක්ක රජය ගත්ත තීන්දු තීරණ නිසා අද අපි නිහඩව ඉන්නවා.

වෘත්තිය ගොවියාට ගොවිතැනක් කරන්න අවශ්‍ය පොහොර ටික කෘමි නාශක වල් නාශක ටික ලැබෙන්නේ නෑ. පස විෂ වෙනවා කියලා මේවනවිට මතයක් ගෙනල්ලා තියනවා. මොන ආයතනයද මේ ගැන පරීක්ෂණයක් කරලා පස විෂ වෙනවා කියලා වාර්ථාවක් සපයලා තියෙන්නේ.

මොනවද මේ පොහොර අන්තර් ගතය නයිට්ට්‍රජන් මියුරියට් ඔෆ් පොටෑෂ් හා ත්‍රීපල් පොස්පේට් කියන සංඝටකයන්. අපිද මේ රටට රසායන ද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය වලට අවශ්‍ය දෙමුහුන් බීජ ගෙන්වලා ගොවින්ව ඒවට හුරු කරේ.

පැවති ආණ්ඩු එකෙන් එක තමන්ගේ වාසියට පිටරටවලින් දෙමුහුන් බීජ ගෙනල්ලා ඒවා රටට හුරුකරලා අපේ දේශීය බීජ සියල්ල විනාශ කරලා දැම්මා. දැන් එක පාරටම රසායනික ද්‍රව්‍ය තහනම් කරලා පුළුවන්ද ගොවියට කාබනික පොහොර කියන තැනට ඇවිල්ලා ගොවිතැන් කරන්න.

රජරට ගොවියාගේ හොඳම වගා කාළය තමයි යල් කන්නය මාසයක් ගතවෙලා තියනවා කොහොමද වගා කරන්නේ මොනවද වගා කරන්නේ කියලා හිතා ගන්න බැරුව ගොවි රජවරු අද සුසුම් හෙළනවා.

මේ සම්බන්ධයෙන් පළාතේ දේශපාලන අධිකාරියට කිවුවම කියනවා ජනාධිපතිතුමා තමයි මේ තීන්දුව අරගෙන තියෙන්නේ කියලා. එතකොට කෝ ඡන්දය කාලයේදි අපෙන් ඡන්දය අරගෙන පළාතෙන් පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරු දහය. උගත්තු බුද්ධිමත්තු නළුවෝ දැන් කෝ. එක එක අය බෝලේ පාස්කර කර ඉන්නවා.

ඔක්කොම දැන් හැංගිලා ජනාධිපතිතුමා කියන දේ තමයි කරන්න වෙන්නේ කියනවා. පෙහොර කෘමි නාශක වල් නාශක නොගෙන්වීම නිසා ඒවා දැනට තියෙන මිනිස්සු ගොවින්ව හුරාගෙන කනවා.

එදා වට්ටමක් සහිතව මිල අඩුකරලා දීපූ ඒ ද්‍රව්‍ය අද වැඩි මිලට විකිනෙනවා. මේවා එක පාරට කරන්න හොඳ නෑ මේ ප්‍රශ්න ගැන ගොවින් විද්වතුන් එක්ක විවෘත සංවාදයක් තියලා කරන්න ඕන. යල් කන්නයේ ගොවින්ට ළුෑණු සොයා බෝංචි එළවළු බඩ ඉරිගු ටිකෙන් හොද අස්වැන්නක් ගන්න රසායනික පොහොර ඇතුළු රසායන ද්‍රව්‍ය අවශ්‍යයි.

අපි විශේෂයෙන්ම මතක් කරනවා අද ගොවියාගේ පවුලේ ආර්ථිකය ඉවරයි විනාශයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් භාගයක් පිරෙන්නේ රජරට ගොවියාගේ මහන්සිය නිසා. අපි නිවට කමට නෙමෙයි මේ නිශ්ශබ්දව ඉන්නේ. කොරෝනා ව්‍යාප්තිය නිසා සෞඛ්‍ය අංශ බලධාරින් දෙන උපදෙස් පිලිපදින නිසා යැයි ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර -මහේෂ් විජේසූරිය

Social Sharing
නවතම