වරාය පනත සම්මත කර ගන්න ඇති උනන්දුව ගැන සැකයක්?

කොවිඩ් 19 වසංගතයත් සමඟ ජනතාව මුහුණ දී සිටින තත්ත්වය හමුවේ කොළඹ වරාය නගර පනත හදිසියේ කලබලයෙන් සම්මත නොකර එය කල් දමන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ රජයෙන් ඉල්ලා සිටියි.

ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ සහ කොළඹ අගරදගුරු හිමිපාණන් ඊයේ (19) දින කොළඹදී  මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසූහ.

මෙහිදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ පැවසුවේ රටට, ජනතාවට බලපාන පනතක් හදිසියේ සම්මත කරන්න උත්සහ ගන්නේ මන්ද? යන්නය. මේ ගැන ජනතා අදහස් ද ලබා ගත යුතු බව උන් වහන්සේ පෙන්වා දෙයි.

නමුත් දෙදෙනෙකුට එක්‌ වී කතා කිරීමට බැරි තත්ත්වයක මෙලෙස හදිසියේ පනත සම්මත කරගැනීමට උත්සහ දැරීම ගැන සැකයක් පවතින බවත් මේ සැකය නිසාම ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත ගිය බවත් ඒහිදී මේ රටට ආදරය  කරන පාර්ශව රැසක් විසින් පෙත්සම් 19 ක් ඉදිරිපත් කළ බවද ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සංශෝධන 25 ක් ඉදිරිපත් කර ඇතැයිද උන් වහන්සේ පවසයි.

මීට පෙර ඇතැම් පිරිස් මේ පනත ගැන චරිත සහතික දුන් බවත් සිහිපත් කරන ඇල්ලේ ගුණවංශ හිමියන් පවසන්නේ ඒ ගැන කිසිදු ගැටලුවක් නැති බවත් ඇත්තේ මේ කරන ක්‍රමයේ වැරැද්ද බව කියා සිටියි.

ජනතාව තුළ සංවාදයක් ඇති කර අදහස් අරගෙන එවැනි පනතක් සම්මත කර ගත යුතු බවත් මේකෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ගැන හරියට විග්‍රහ කළ යුතු බවත් පෙන්වා දෙන උන් වහන්සේ පවසන්නේ  අවුරුදු 05ක් රට පාලනය කරන්න දුන්න මිස අයිතිය ඇත්තේ ජනතාවට බවය.

ආණ්ඩුව මේ කියන දෙයක් අහන්නේ නැත්නම් ඊට විරුධව ජනතාව පෙළගස්වන්න සිදු වන බවද උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ,

පොදු ජනතාවට බලපාන පනතක සම්මත කරගන්න පෙර ජනතා අදහස් විමසිය යුතු වුවත් හදිසියේ මෙය සම්මත කරගැනීම තුල මෙහි විනිවිදභාවය ගැන ප්‍රශ්නයක් තිබෙන බවත්  MCC ගිවිසුම වගේ තත්ත්වයක් මෙතනත් ඇති බව උන් වහන්සේ පවසයි.

සංශෝධන ජනතාවට පෙන්වන්න බැරි මන්ද යන්න ප්‍රශ්න කර සිටින උන් වහන්සේ සිහිපත් කර සිටියේ ආණ්ඩුව එද්දී පොරොන්දු වුණ දේවල් ඉෂ්ට කළ යුතු බවය.

ඒසේම මෙහිදි පාස්කු විමර්ශන ගැනද කාදිනල් හිමියන් කථා කරමින් කියා සිටියේ පවතින විමර්ශන ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවය.

ජනතාවට සාධාරණයක් ඉටු නොවන්නේ නම් ඉදිරියේදී ඒ වෙනුවෙන් ජාත්‍යන්තරයට හෝ යාමට ඉඩ තිබෙන අතර ඒ ගැන සාකච්ජා කරමින් පවතින බවද  අවධාරණය කළ උන් වහන්සේ කියා සිටියේ  විමර්ශන නිසි ලෙස සිදුනොකර උඩින්පල්ලෙන් කරමින් ඇස්බැන්දුමක් සිදුකරමින් සිටින බවය.

Social Sharing
නවතම