මාස තුනට කොවිඩ් මරණ 500 ක්- GMOA 

එසේම පළමු කොවිඩ් මරණ 500 ක් හඳුනාගන්න මාස 12 ක වැනි කාලයක් ගත වී ඇතත් දෙවැනි කොවිඩ් මරණ 500 හඳුනා ගන්න ගත වී ඇත්තේ මාස දෙක හමාරක් වැනි කාලයක් බවද මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටුවේ සාමාජික වෛද්‍ය හංසමාල් වීරසුරීය මහතා පවසයි.

කොවිඩ් රෝගීන් ලක්ෂයක් හඳුනා ගන්න මාස 14 ක කාලයක් ගත වුවත් ඉතිරි 50,000 ක රෝගීන් සංඛ්‍යාව හඳුනා ගන්න ගත වූයේ මාස තුනක් වැනි කාලයක් බවත් ඒ අනුව මෙම වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය ගැන අවබෝධයක් ලබා ගත හැකි බව ඔහු කියා සිටියි.

එබැවින් ඉදිරි සති දෙක තුල දැඩි ලෙස සංචරණ සීමා වලට යොමු වී මේ වෛරස් ව්‍යාප්තිය වළකාගත යුතු බව ඔහු අවධාරණය කර සිටියි. සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළහොත් මේ වෛරස් වර්ධන වේගය වැඩි වී රට ආගාධයකට යා හැකි බව ඔහු සඳහන් කර සිටියි.

ලෝකය පුරාම කොවිඩ් ආසාදිත මරණ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 2.07 ක් බවත් නමුත් තාම ලංකාව පවතින්නේ 0.6 බවත් ඒ නිසා මෙම තත්ත්වය අපට තවමත් පාලනය කර ගැනීමේ හැකියාව ඇතැයිද වෛද්‍ය හංසමාල් මහතා පෙන්වා දෙයි.

එමෙන්ම කොවිඩ් රෝගීන් සුව වීමේ ප්‍රතිශතයද 82.07 ක් පමණ බවත් එය ඉතා සාධනීය අගයක් බවත් ඔහු සඳහන් කර සිටියි.

-ශානි-

Social Sharing
නවතම