පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන විශේෂ ප්‍රකාශයක්!

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ගැන කවුරුත් කිසිම සැකයක් තබා ගත යුතු නැති බවත් දැනටමත් නඩු 9ක් පවරා තිබෙන අතර ඉතිරි නඩු ඉතා ඉක්මණින් පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලීසියත් එක්වී කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය  සරත් වීරසේකර මහතා පවසයි.

මීට වසර 12ට පෙර තිස් අවුරුදු යුද්ධය නිමා කළ මෙම රජය, ත්‍රස්තවාදයට අන්තවාදයට හිස එසවීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු පවසයි.

2019 වසරේ ලෝකයේ එල්ල වූ දරුණුම ප්‍රහාරයන්ගෙන් එකක් වන්නේ පාස්කු ප්‍රහාරය බවත් නඩු පැවරීමේ කටයුතු ඉතා සූක්ෂම අයුරින් විමර්ෂණ කටයුතු සිදු කර යුතු බැවින් මෙවැනි ත්‍රස්තවාදී කටයුතු සඳහා කල් ගත වන බව නිදසුන් සහිතව පෙන්වා දුන්නේය.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී හුවා දක්වන සැකකරුවන් 5 දෙනාගෙන් හතර දෙනෙකු වන මොහොමඩ් රිස්වාන් , මොහොමඩ් වකාර් යුනිස්, ෂාවුල් හමීඩ්, මොහොමඩ් ෆසාන් යන අයගේ උධෘත ගොනු 2021 මැයි මස 17 දින නීතිපති හමුවේ ඉදිරිපත් කර අවසන් බවත් මාර්තු මස 21 දින අත්අඩංගුවට ගත් මොහොමඩ් ආසිම් සම්බන්ධ විමර්ශන දැනට කරමින් පවතින බවද හෙතෙම කියා සිටියි.

එසේම මේ සම්බන්ධයෙන් 704 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර  එයින් රක්ෂිත බන්ධනාගාරයේ 203ක් ද, රැඳවුම් නියෝග මත 84ක් ද, ඇප මත 244ක් සිටින අතර, 168ක් නිදහස් කොට ඇතැයිද  32කට අධි චෝදනා ගොනු කොට තිබෙනවා යැයිද සඳහන් කර සිටියේය.

පොලීසිය විසින් පාස්කු ප්‍රහාරයා සම්බන්ධ උද්ද්‍රිත ගොනු 8ක් නීතිපතිවරයාට ලබා දුන් බවත් තමා පුද්ගලිකවද නීතිපතිවරයා හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා, ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මෙම වසරේදී ‌නීතිපතිවරයාට ලබා දුන් බවත් 2021 මාර්තු මස 12 වනදා සිට අප්‍රේල් මස 24 දක්වා පොලිස් විමර්ෂණ නිලධාරින් 54 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග මෙම සාක්ෂි සහ කරුණු ගැඹුරින් අධ්‍යනය කළ බවත් අවශ්‍ය අනෙකුත් වාර්තා සහ අඩුපාඩු ආදිය සම්පූර්ණ කර නීතිපතිවරයාට ලබා දුන් පසු මේ සම්බන්ධව නඩු පැවරීම් සිදු කළ හැකි බවද වැඩිදුරටත්  කීය.

අමාත්‍යවරයා මේ බව  කියා සිටියේ අද (19) දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා සිදු කර තිබු ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

-ශානි-

Social Sharing
නවතම