මෙවර O/L – A/L  විභාග සඳහා පෙනී සිටින ලක්ෂ අටක සිසුන් පිරිස අර්බුදයක!

කොවිඩ් 19 වසංගත තත්වය තුළ මෙවර  අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට පෙනී සිටින ලක්ෂ 8 කට වැඩි සිසුන් පිරිසක් දැඩි පීඩනයකට/අපහසුතාවයකට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ දරුවන්ට අහිමි වන පාසල් කාලය සම්බන්ධයෙන් තවමත් විධිමත් වැඩපිලිවෙලක් සැකසීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවය.

මේ වන විට අගෝස්තු මස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස දක්වාද දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි මස දක්වා ද කල් දමා ඇති බව පෙන්වා දෙන ඔහු පවසන්නේ 2020 වසරේ පාසල් පැවතියේ දින 60 ක් වැනි සුළු කාලයක් වන අතර, 2021 වසරේ මේ වන විට පාසල් පවත්වා ඇත්තේ සීමිත දින ගණනක් බවය.

මේ වන විටත් වසා දමා ඇති පාසල් පටන් ගැනීම සම්බන්ධයෙන් තීන්දුවක් ගත නොහැකි තත්වයක් මතු වී ඇති අවස්ථාවක පාසල් සිසුන්ට මඟහැරුණු විෂය කොටස් සම්බන්ධයෙන් කිසිදු පිළියමක් නොමැතිව විභාග පැවැත්වෙන කාලසීමාව පමණක් ප‍්‍රකාශයට පත්වීම බරපතල ගැටලූවක් බව හෙතෙම අවධාරණය කර සිටියි.

සිසුන්ට මගහැරුණු පාසල් කාලය වෙනුවට අසාර්ථක යැයි සියලූ පාර්ශව විසින් පිළිගන්නා මාර්ගගත අධ්‍යාපනය පමණක් ක්‍රියාත්මක  වෙමින් පවතිද්දී  මෙසේ විභාග දින තීරණය කිරීමෙන් මාර්ගගත අධ්‍යාපනය නොලබන බහුතරයක් සිසුන්ට බරපතල අසාධාරණයක් සිදු වන බව පෙන්වා දෙන ඒ මහතා කියා සිටින්නේ  පවතින විෂය මාලාව මතුවී ඇති තත්වයට අනුව ප‍්‍රායෝගිකව සකස් නොකර සමස්ත විෂය මාලාව ආවරණය කිරීමට බලකෙරී ඇති තත්වයක උසස් පෙළ විභාගයට පෙනී සිටින ලක්ෂ 3 කට වැඩි දරුවන්ට සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ලක්ෂ 5 කට වැඩි දරුවන් දැඩි පීඩනයකට පත්ව ඇති බවය.

අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කර කොවිඩ් 19 වසංගත තත්වය තුළ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සම්බන්ධයෙන්  විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත්, වසර දෙකක සමස්ත විෂය මාලාව වෙනුවට මතුව ඇති තත්වය තුළ ප‍්‍රායෝගිකව ආවරණය කළ හැකි විෂය මාලාවක් ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව හා ජාතික අධ්‍යාපන කොමිසම මැදිහත් වී ක්‍රියාවට  නැගිය යුතු බවත් ලංකා ගුරු සංගමය දැඩිව අවධාරණය කර සිටී.

-ශානි-

Social Sharing
නවතම