කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලදී දැඩි පීඩනයක්….?

කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ලට නිදහස් ඇඟලුම් සේවක සේවිකාවන් ද ගොදුරු වෙමින් සිටින්නේ සීඝ්‍රයෙනි. මේ වන විට දිවයින් පුරා තිබෙන ඇඟලුම් කම්හල්, කර්මාන්තශාලා රැසක සේවක සේවිකාවන්ට කොවිඩ් ආසාදනය වී ඇත.

දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වූයේද මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙනි. එහිදී හෙළි වූයේ සේවක සේවිකාවන් අසනීපව සිටියදීත් වැඩ ගත් බවය. මේ සම්බන්ධව කම්කරු දෙපාර්තමේන්තුවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් විමර්ශන ආරම්භ කළද අද වනතුරු ඒ්වාට කුමක් වූවාදැයි රට්ටු දන්නේ නැත.

එවන් පසුබිමක කොවිඩ් තෙවැනි රැල්ලත් පැමිණ සේවක සේවිකාවන් ගොදුරු කර ගනිමින් ඇත. මෙහි ඇති ඛේදනීය තත්ත්වය නම් මේ ඇඟලුම් කලාප ආශ්‍රිත පොසිට්ව් වන පුද්ගලයින්ව ප්‍රතිකාර සඳහා යොමු කරන්නේ ලංකාවේ එහා කෙළවරට වීමය.

කටුනායක නිදහස් වෙළද කලාපයේ තත්ත්වයද එසේමය. කටුනායක ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක කොවිඩ් ව්‍යාප්ත වෙමින් තිබියදී එහි අනෙක් සේවක සේවිකාවන් සේවය කර තිබුණි. එහිදී මා දන්නා කාන්තාවක් දින 03 ක් පුරා උණ සෑදී බෝඩිමට වී සිටියාය. ඇය තමන් අසනීප බව ආයතනයට දන්වා සිටියද ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. ඒ නිසා ඇය තම පෞද්ගලික මුදලින් PCR පරීක්ෂාවක් කර ගෙන තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ ඇයට කොවිඩ් වැළඳි ඇති බවය.

ඒ අනුව ඇයව ඉකුත් 12 දා රැගෙන ගොස් ඇත්තේ කල්මුණේ, මරදමුණේ කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙතය. මෙම ප්‍රදේශයේ සිටින්නේ මුස්ලිම් ජනතාවය. රෝහලේ බොහෝ කටයුතු කරන්නේද මුස්ලිම් කාර්ය මණ්ඩලයක් විසිනි. මෙහිදී ඇය දැඩි අපහසුතාවයට පත්ව ඇත්තේ ආහාර සම්බන්ධයෙනි. රෝහලෙන් ලබා දෙන සියලු මුස්ලිම් ජාතිකයින් විසින් ලබා ගන්නා ආකාරයේ ආහාර වූ බවත් ඒ්වාට තමන්ට කෑමට ගත නොහැකි වීම නිසා කුසගින්නේ සිටින බවත් වරෙක ඇය මට දුරකථනයෙන් පැවසුවාය.

මේ අතර ඇය ඔන්ලයින් ඔස්සේ සුපිරි වෙළඳසැලකට කථාකොට පාන්, බිස්කට් ආදිය ගෙන්වා ගැනීමට උත්සහ කර ඇතත් එයද අසාර්ථක වී ඇත්තේ ඔවුන් රෝහලට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම නිසාය. ඇය දැන් සිටින්නේ කොවිඩ් වලටත් වඩා දැඩි මානසික පීඩනයකිනි. අද වනතුරු ආයතනයෙන් ඇය ගැන සොයා නොබැලු බවද පැවසේ.

එමෙන්ම බියගම නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ තවත් තරුණියක  පැවසුයේ තමන් කොවිඩ් ආසාදිත වු පසු පළමුව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන ගිය බවය. එහි ඉඩ නැති නිසා රෑ වනතුරු සිට නැවත යාපනයේ, කෝපායි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවත් ඒ යනවිටත් තමන් හොඳටම හෙම්බත් වී සිටියේ ගමන් මහන්සිය නිසා බවත් ඇය  පවසයි.

එහිදීද ඔවුන්ට වතුර ලබා ගැනීමට පෝලිම් වල සිටීමට සිදු වු බවත් ලබා දුන් ආහාරද වතුරයි බතුයි මෙන් බව ඇය  වැඩිදුරටත් කියා සිටියාය.

එසේම පහුගියදා බණ්ඩාරවෙල, බිදුණුවැව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී ආසාදිතයෙකු  වතුර ඉල්ලුවා කියා හමුදා ප්‍රධානීයෙකු පහර දී තිබුණේ අමානුෂික ලෙසිනි.

පොලොන්නරුවේ මධ්‍යස්ථාන වල වැඩි වශයෙන්ම ලබා දෙන්නේ රතු හාල සහිත බත් නිසා එහි යන ඇතැම් පිරිස් ඒ්වා නොකන නිසා ඔවුන්ට බඩගින්නේ සිදුවන බව පැවසේ. එමෙන්ම දහවල් ආහාර ලබා දීමට ප්‍රමාද වන බවත් එහිදී ඇතැම් ආහාර නරක් වී ඇතැයිද පවසයි.

ඔවුන් එසේ කියද්දී ඊට හාත්පසින්ම වෙනස් කථාවක් මා හට අම්පාර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඇසුනි. මගේ මිතුරෙකු කොවිඩ් ආසාදිතව අම්පාර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටියේය.

ඔහු අම්පාර ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු පැවසු ආකාරයට මෙම ‌රෝහල කලින් මානසික රෝහලකි. දැන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත. ඉතාම පිරිසිදුව තිබු බවත්, මෙම රෝහල වෙලක් හා වැවක් ආසන්නයේ පිහිටි නිසා ඔවුන්ට එළියට බැස නිදහසේ සුළඟ බව විඳීමට හැකි වූ බවත් ආහාර පානද හොඳ ත්ත්වයේ තිබූ බවත් කියා සිටියේ සැහැල්ලුවෙනි. තමන්ට දින 10 න් යා හැකි බවත් නමුත් අවධානමක් නොගෙන දින 14 ම එහි රැඳි සිටින බවද ඔහු පැවසුයේ සිනාසෙමිනි. එමෙන්ම මෙහි විශේෂත්වය වනුයේ සැමදාම වෛද්‍යවරයෙකු පැමිණ කාරුණිකව කථා බහ කිරීමය.

එසේම තවත් දිස්ත්‍රික්කයක කොවිඩ් ප්‍රතිකාර / අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක සිටි අයෙක් පැවසුයේ එහි සිටි පිරිමි පුද්ගලයින්ට මත්පැන් පවා ලබා ගැනීමේ හැකියාව තිබූ බවය.

එසේ නම් ගැටලුව ඇත්තේ කොතැනකද?  මධ්‍යස්ථාන පාලනාධිකාරියේද?

කෙසේ නමුදු පහුගිය දිනවල දිගින් දිගටම මේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ගැටලු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල පවා සංසරණය විය.

මේ අතර වත්මන් කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ක්ෂණික තීරණ ගැනීම සඳහා වු COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව ඊයේ (17) වැදගත් තීරණයක් ගනු ලැබුණි. ඒ කොවිඩ් 19 වෛරසය ආසාදනය වන ආසාදිතයින්ට පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට සහ අතරමැදි මධ්‍යස්ථාන වලට යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට තීරණය කිරීමය.

යම් ආසාදිතයෙකු වූ විට ඔහුට සහ ඔහුගේ පවුල් වලට බලපාන දැඩි මානසික පීඩනය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබුණි. ප්‍රමාද වී හෝ මෙම තීරණය ගැනීම ගැන COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුවට පැසසුම් කළ යුතුය.

Social Sharing
නවතම