නිලයේ වගකීම පැහැරහැරියාට පොලිස්පතිට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිල්ලක්!

රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටි තාරක ධර්මකීර්ති විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක  නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් නීතිඥයකු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබියදීත් එදින රාත්‍රියේම සැකකරු වෙඩිතබා  ඝාතනය කර  තිබුනි.

ඊට පෙර දිනයේ දිනිත් මෙලන් මාබුල පොලිස් භාරයේ සිටියදී ඝාතනය කර තිබුණි. දෙදෙනාම රඳවා සිටි පොලිස් ස්ථානවලින් පිටතදී ඝාතනය කිරීම නිසා බියට පත් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවකු වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ මව ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය ඔහු බන්ධනාගාරයෙන් පිටතට ගෙනයාම තහනම් කරන නියෝගයක් පනවා  තිබේ.

තාරක ධර්මකීර්ති විජේසේකරගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ අනතුරු ඇඟවීමක් කර තිබියදීත් පොලිස්පතිවරයා  නිල බලය අනුව කටයුතු නොකළේ ඇයිදැයි ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති  වෙත යොමු කළ පැමිනිල්ලක් මගින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ප්‍රශ්න කර තිබේ.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා සිය පැමිනිල්ල මගින් අවධාරණය කර ඇත්තේ පොලිස්පතිවරයා මේ ආකාරයට තමන්ගේ වගකීම පැහැරහරිමින් ක්‍රියා කරන්නේනම් එමගින් ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධයෙන් පුරවැසියන් තුළ බරපතල අවිශ්වාසයක් ඇති වන අතර, එම නිසාම පුරවැසියන්  අනාරක්ෂිත තත්වයකට පත් වන බවයි.

පොලිස්පතිවරයාගේ නොතකාහැරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසත් නීතිඥ සේනක පෙරේරා ජාතික පොලිස්  කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.

නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි 2021.05.12 වන දින පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් රැදවුම් නියෝග මත පොලීසිය භාරයේ සිටින තාරක ධර්මකීර්ති විජේසේකර නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ලිඛිතවම ඉල්ලා තිබුනි.

එමෙන්ම පොලිස්පතිවරයා යටතේම ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයටත් ඉහත සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් නීතිඥයා දැනුම් දී තිබුනි.

එසේ තිබියදීත් එම සැකකරු එදිනම රාත්‍රියේ මීරිගම ප්‍රදේශයේදී ඝාතනය කර තිබුනි.

පසුව පොලීසිය නිවේදනය කර තිබුනේ විමර්ශන කටයුත්තක් සදහා ගෙනගොස් සිටින විට සැකකරු විසින් පොලීසියට ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී සිදු කළ ප්‍රතිප්‍රහාරයෙන් සැකකරු මිය ගොස් ඇති බවයි.

සැකකරුට එල්ල වී තිබෙන ජීවිත තර්ජනය සම්බන්ධයෙන් දැනුම් දීමට නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ පිටපතක්ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ජාතික පොලිස් කොමිසමේ සභාපති  වෙත යොමු කර තිබේ.

මේ අතර, මරණීය දණ්ඩනයට නියමවී බූස්ස බන්ධනාගාරයේ සිරකොට සිටින සමන්ත කුමාරගේ මව වන ආර්.ජී. මාලනී වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ, මේ දිනවල පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් විවිධ විමර්ශනවලට බව කියා පාමින් පිටතට රැගෙන ගොස් මරා දැමීමේ තත්වයක් උදාවී ඇති බවයි.

පෙත්සම සලකා බැලීම ලබන 24 වැනිදාට නියම කළ අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවන් සිරකරු එදින දක්වා බන්ධනාගාරයෙන් පිටතට ගෙනයාම වලක්වන තහනම් නියෝගයක් දී තිබේ.

Social Sharing
නවතම