රජය භාරයේ සිටින එක ආරක්ෂාකාරී එකක් වුවත්, මේ ආණ්ඩුවත් එක්ක ඒක බෑ!

එදා බණ්ඩාරනායක මහතා මැරූ පුද්ගලයින්ට පොලිසීය විසින් වෙඩි තබා ඝාතනය නොකළ බවත් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කර අභියාචනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව සලසා දී ඒ සියල්ල නිමා වූ පසු දඬුවම ක්‍රියාත්මක වුවත් දැන් අධිකරණයේ කාර්ය භාර්යය පොලීසිය විසින් භාර ගෙන ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ අධි නීතීඥ ලාල් විජේනායක මහතා පවසයි.

පොලිස් අත්අඩංගුවේ එහෙමත් නැතිනම් රජයේ භාරයේ සිටින එක ආරක්ෂාකාරී එකක් බව අප සිතූවත් මේ වන විට එය මේ නව ආණ්ඩුවත් සමඟ වෙනස් වී ඇතැයි ඔහු කියයි.

පොලිසීය යම් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන පවත්වා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් ඔවුන් දඬුවම් ලබා දී සිදු කිරීම නීතියේ ආධිපත්‍ය වුවත් දැන් සිදුවන්නේ ඊට වෙනස්ම ක්‍රියාවලියක් බවද හෙතෙම පෙන්වා දෙයි.

දැන් මේ වන විට පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් 06 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බවත් කිසිදු ලැජ්ජාවකින් තොරව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වු මාධ්‍ය ප්‍රකාශක හැමදාම කියන්නේ ආයුධ පෙන්වන ගිහින් ඇති වූ ගැටුමකදී පොලිසීය සිදු කළ වෙඩි තැබීමක් නිසා සැකකරු මිය ගිය බවද ලාල් විජේනායක මහතා පවසයි.

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙකු විමර්ශන කටයුත්තකට එළියට රැගෙන යාමේදී ඔහුගේ දෑත් වලට මාංචු දමා ගෙනියන බවත් එමෙන්ම පොලිස් කණ්ඩායමක්ද ඒ සමඟ යන බවත් පෙන්වා දෙන ඔහු පවසන්නේ දෑත් වලට මාංචු දැමු පුද්ගලයෙකු පොලීසියට වෙඩි තබන්න හැදුවා යැයි කියන කථාව කිසිවෙකුත් පිළිගන්නේ නැති බවය.

2015 ට පෙර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේදීද විශාල පුද්ගලයින් පිරිසක් ඝාතනය කෙරුණු බවත් එහිදී ශ්‍රී ලංකා නීතිඥ කණ්ඩායමට සිවිල් සමාජ හා එක් වී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සටන් වැදීමට සිදු වු බවත් ඒ අනුව 2015 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට හැකි වූ බවද ඔහු සිහිපත් කර සිටියි.

මේ මරණ ගැන අධිකරණයවත් හරියට සාධාරණයක් ඉටු කරනවාද යන්න සැක සහිත බවත් අප මේ ගමන් කරමින් සිටින්නේ නැවත 2015 ට පෙර පැවති යුගයට බවත් පොලිසීයට පුද්ගලයින් මැරීමට කිසිදු අයිතියක් නැති බවද ඔහු අවධාරණය කර සිටියි.

එමෙන්ම මේ පිලිබඳ වහා විමර්ශනයක් කරන ලෙසත් නැතිනම් ඉදිරියේදී 2015 දී මෙන් යළි පෙළ ගැසෙන බවද ලාල් විජේනායක මහතා වැඩිදුරටත් කියා සිටියි.

-ශානි-

Social Sharing
නවතම