කොවිඩ් මරණවල වගකීම ජනාධිපතිවරයා ගතයුතුයි!

කොවිඩ් නිව්මෝනියාවෙන් මියැදෙන අසරණයින් ගැන කතා දැන් දැන් බොහෝ ඇසෙයි. තවත් බොහෝ රෝගීන් ප්‍රමානයක් සිය ජීවිතයේ අවසාන කාලය ගෙවාදමමින් සිටින්නේ රෝගය සමග සටනට යන්ත්‍රයක් ආධාර කරගෙනය. තවත් පිරිසක් එවැනි යන්ත්‍රයක් ලැබෙනතුරු අමාරුවෙන් ජීවිතයේ එල්ලී සිටී. මේක කරුම කාලයක් කියා මේ තත්ත්වය තුළ අපිට අහකබලාගත හැකිද? නොහැක.

ආණ්ඩුව නිළ වශයෙන් ප්‍රකාශ කරන විදිහට පසුගිය 15වෙනිදා රාත්‍රී 9ය වෙනවිට කොවිඩ් ආසාදිතයන් 921ක් ජීවිතක්ෂයට පත්වී ඇත. මේ නිළ සංඛ්‍යා ලේඛන බව අපි අවධාරණය කරමු..! ඉන්දියාවනම් දැන් කියන්නේ තමන් විඳින සත්‍යයෙන් බාගයක් ගැනය. මරණ 1000ක් වාර්තා වනවිට ඔවුන් එය වාර්තා කරන්නේ 500ක් ලෙසය. ලංකාවේ තත්ත්වය එසේ නොවේවා යැයි පතමු! ලංකා අණ්ඩුව ඉන්දියානු මෝදී ආණ්ඩුවට වඩා සත්‍ය ප්‍රකාශ කරනු ඇතැයි අපි බලාපොරොත්තු සහගතවෙමු. කොහොම වුණත් තත්ත්වය එන්න එන්නම නරකබවෙන් මහා නරකාදියට ගමන් කරමින් තිබේ. එය සැලකිය යුතුය. අනතුර භාර නොගෙන උද්දච්චකමට සිටියොත් වෛරසය අපව පරාජයට පත්කරනු ඇත!

වසංගත රෝග විද්‍යා ඒකක දත්තයන් නිවැරදිනම් පසුගිය 15වෙනිදා රාත්‍රී 9 වනවිට සමස්ත ආසාදිතයන් ගණන 140471කි. එයින් 117220ක් සුවය ලබා ඇත. තවදුරටත් රෝහල් තුළ හෝ මොනයම් ක්‍රමයකින් වෛද්‍ය අධීක්ෂණය යටතේ 22330ක් ආසාදිතයන් සිටී. තත්ත්වයේ බරපතළකම තිබෙන්නේ මෙතනය. ඒ මේ සීමාව අපේ රෝහල්වල සීමාවද වන්නට ඉඩ තිබෙන නිසාය. බොහෝ රෝහල් තුළින් දැනටත් අපවෙත එන පුවත් කියන්නේ එම රෝහල් සිය ධාරිතාවයේ සීමාවට පැමිණ ඇති බවය. එහෙත් බලධාරීන් රෝහල් තුළ තිබෙන ඇත්ත තත්ත්වය කියන්නේ නැත.

බියකරු චිත්‍රය

මේ කොවිඩ් මරණ 921 වාර්තාවන්නේ පිරිමි 564ක් සහ ගැහැනු 357ක් ලෙසය. මේ සමස්ත මරණ ප්‍රමානය එක් එක් වයස් කාණ්ඩවලට අනුව ගණනය කරන වසංගත රෝග විද්‍යා ඒකකය කියන්නේ එයින් 41.91%ක් පුද්ගලයින් වයස 61ත් 75ත් අතර බවය. වයස 76ත් 90ත් අතර පුද්ගල මරණ ප්‍රතිශතය 28.01%කි. 19.44%ක ප්‍රතිශතයක් වයස 46ත් 60ත් අතර අයවලුන් ය. වයස 31ත් 45ත් අතර පුද්ගලයින් 6.84%ක් මරණයට පත්වී ඇත. වසංගත රෝග ඒකකයේ දත්තවලට අනුව අවුරුදු 15ට අඩු ළමුන් ගේ මරණයන්ද දැන් වාර්තා වෙයි. තරුණ පුද්ගලයින්ගේ මරණ ප්‍රමානයද වැඩිවී ඇත. දැනගන්නට ලැබෙන විදිහට පසුගිය 15වෙනිදා වනවිට ගැබිණි මවුවරුන් තුන්දෙනෙක් ද මෙම වෛරසය ආසාදනය වීම නිසා මරණයට පත්වී ඇත. පසුගිය මැයි 10වෙනි දින සිට මැයි 15 දා දක්වා දින පහක කාලය ගතහොත් ඒ සියලු දිනයන් හිඳීම ආසාදිතයන් දෙදහසේ සීමාව ඉක්මවා වාර්තාවී ඇත. එමෙන්ම මරණ දිනක සාමන්‍යද 20ක් පමණ වෙයි. කොළඹින් බැහැර බොහෝ ප්‍රදේශවල පීසීආර් ප්‍රතිපල ප්‍රමාදයක් තිබෙන බව මතකයේ තබාගත යුතුය. කොවිඩ් නිව්මෝනියා මරණයක් පමණක් කෝවිඩ් මරණ වර්ගිකරණයට වැටෙන බවද අප අමතක නොකළ යුතුය. ඇඳන් 10000සේ රැල්ලේ පිහිනන අය හැම දිනකදීම රෝගීන් දෙදහසකට වැඩියෙන් වාර්තාවෙන බව සැලකිල්ලට ගත යුතුය. අනෙක් පැත්තෙන් ඔක්සිජන් ධාරිතාවය මෙන්ම ඔක්සිජන් සැපයීමේ දී පැනනගින ගැටලු ගැනද නිරන්තරව ඇසෙන පසුබිමක අපි දකින චිත්‍රයට වඩා ඇත්ත චිත්‍රය බියජනකය. මේ වසංගතය මර්දනය සඳහා අවසානයේ සටනට කැඳවා සිටින විශේඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සමහර ප්‍රකාශ තුළින් එය මැනවින් පෙනෙයි. එහෙත් සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ දක්ෂයෙක් වන එතුමියට කවදාවනතුරු එම තනතුරේ සිටින්නට හැකිවේදැයි දන්නේ දෙවියෝ පමණි.

ඇයි ජනාධිපති වගකිව යුතු?

මෙලෙස කොවිඩ් මරණ ප්‍රමානය ඉහළ යනවිට අප එම මරණවල වගකීම වර්තමාන ජනාධිපතිවරයා ගතයුතු බව කියන්නේ ඇයි? එයට හේතු බොහෝ ප්‍රමානයක් ඇත. එයින් කිහිපයක් මෙලෙස පෙළගැස්විය හැකිය. මුලින්ම අප සිහිතබා ගතයුත්තේ ලංකාව යනු දූපතක් බවය. ලංකාව දූපත් රාජ්‍යක් වෙනවිට මේ රටට මේ රෝගකාරක වෛරසය පැමිණිය හැක්කේ වරායකින් හෝ ගුවන්තොටුපළ තුළින් ය. අප නියමිත සැළැස්මකට නියමිත ක්‍රමයකට නියමිත වෙලාවට ක්‍රියාත්මක වුණානම් මේ සෑම රැල්ලක්ම ඇතිවීමට කළින් දොරවල් වසාදමන්නට තිබුණි. අවශ්‍යනම් කෙනෙකුට නවසීලන්තය වැනි දූපත් රාජ්‍යක් දෙස බැලිය හැකිය. මෙහිදී කෙනෙකුට අවශ්‍ය නම් ලංකාව නවසීලන්තයට වඩා ආර්ථික අතින් දුප්පත් කියා ගැලවීමට හැකිය.

ලංකාව තුළ මේ වනවිට ශීඝ්‍රයෙන් පැතිරෙමින් යන්නේ බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය බව විශේඥ මතය යි. එය මාරක බව අනෙකුත් ප්‍රභේදයන්ට සාපේක්ෂව මාරක බවද අපි බොහෝ කාලයකට පෙරසිටම දනිමු. එහෙම තත්ත්වයක් තුළ මෙම ප්‍රභේදය සහිත රෝගී පොකුරක් බොරලැස්ගමුව ප්‍රදේශයෙන් සොයාගන්නේ පසුගිය අප්‍රේල් 8වෙනිදාය. ජනාධිපතිවරයාට එම අවස්ථාවේ හෝ ක්‍රියාත්මකවී ජනතාවට ගෙදරටවී පරිස්සමින් අවුරුදු සමරන්න යැයි කියන්නට තිබුණේ නැද්ද? ලොක්ඩවුන් නැතිවුණත් යම් යම් සීමාවන් පනවන්නට නොතිබුණේද? ඒ කිසිත් නොකළ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුවට මේ මරණවල වගකීම එල්ලීම යුක්තියුක්ත නොවන්නේද?

මේ ප්‍රබේද ව්‍යාප්තිය ගැන කතාකරන යම් යම් සෞඛ්‍ය සංවිධාන මත පළකරන්නේ, බ්‍රිතාන්‍ය ප්‍රබේදය මෙරටට ආවේ යුක්‍රේන සංචාරකයින්ගෙන් බවය. යුක්‍රේන සංචාරකයින් මෙරටට ගෙන්නුවේ කවුද? කුප්‍රකට උදයංග වීරතුංගය. ඔහු රාජපක්ෂ පවුලේ ගජමිතුරෙක් ය. ජයසක් බෙර හඬින් ඔල්වරසන් දෙමින් යුක්‍රේන සංචාරක බුබුල ලංකාවට වඩම්මනවා අපි එකළ හිරු, දෙරණ වැනි නාලිකා තුළින් දුටුවෙමු. අද මේ බබල් ටුවරිසම් ගැන හෝ යුක්‍රේන සංචාරකයින් ගැන හෝ උදයංග ගැන ජනාධිපති හෝ ආණ්ඩුව හෝ හිරු, දෙරණ මාධ්‍ය හෝ කතා කරන්නේ නැත.

තොන්ඩමන්ගේ මළගෙදර ජයටම ගන්න සියළු සහය දුන්නේ අප නොව ආණ්ඩුව බව මතක තබා ගතයුතුය. එතැනින් පසුව කොවිඩ් සීමාකිරීම් ජනතාවට විහිළුවක් විය. ඒ මහා විහිළුව නිර්මානය කළේ වර්තමාන ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව බව අමතක නොකළ යුතුය. රාජිත සේනාරත්න වැනි මන්ත්‍රීවරුන් කොවිඩ් එන්නත ඇනවුම් කරන්නයැයි කියනවිට ආණ්ඩුවේ ලොකු ලොක්කෝ මාධ්‍ය ඉස්සරහට ඇවිත් ධම්මික පැණිය තොලගෑවෝය. ඊළඟට ධම්මික වෙඳ මහතා ජාතියේ වෙදා ලෙස එක එක නාලිකාවලට පැමිණ සිය පැණිය ජනතාව අතර වසංගතයක් සේ ප්‍රචාරය කළේය. මිනිස්සු ‘අයියෝ මොකද්ද මේ චීන වෛරස් එක, ඒක මේ පැණියෙන් නසන්න ඇහැක්’ යැයි පවසමින් පැණි කෑහ!. ඒ පැණි කෑමේ කතාවේ අවසන් පරිච්ඡේදය මරණය බවට පත්වෙන විට එයට ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව වගකිවයුතු නැද්ද?

සෞඛ්‍ය ඇමතිතුමිය ප්‍රමුඛව ආණ්ඩුවේ ලොකු ලොක්කන් වෛරසට විරුද්ධව  මුට්ටි ගඟට දැමීමේ ව්‍යාපාරයක්ද ගෙනගියෝ ය. එයින් මෙයින් කෝවිඩ් මාරයා ගමේ ‘අබිලින්’ තරම් විහිළුවක් බවට රූපාන්ත්‍රනය විය. ඒ සමග මිනිසුන් තම මුව ආවරණය බෙල්ලට දමාගත්තේ බෙල්ලේ පාළුව යන්නට ය. අවසානයේ කොවිඩ් මාරයා නිසා මරණය අභියසටම ගිහිං පැමිණි සුව ඇමතිනිය කීවේ තමන් ගොඩ ආවේ ‘බුදුබව අත්වෙන්න ඕනී වෛද්‍ය කාර්‍ය මණ්ඩලය’ නිසා බවය. ඇයට සත්‍ය පසක් වෙනවිට ජනතාව අඳුරෙන් අඳුරට ගොස් අවසන් ය. රටේ ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුව මෙලෙස මුට්ටි සෙල්ලම් කළේ වඳකොත්තු වඳජංගි වැනි විහිළු විශ්වාස කළ ජනතාවක් එක්කය. එහි ප්‍රතිපලය අද හැමතැනම කොවිඩ් තෙල් බෙහෙත් වෙළඳුන් ය. තවමත් ආණ්ඩුවට ඔවුන් පාලනය කරන්නට හෝ හැකිවී නැත. එනිසා ජනාධිපති මේවාට වගකිව යුතු නැද්ද?

කොවිඩ් මර්දන මෙහෙයුම හමුදාකරණය කිරීම මගින් ජනාධිපතිවරයා විශාල වැරැද්දක් කරගත්තේය. පළවෙනි කොවිඩ් රැල්ල සාර්ථකව පාලනය කළ සෞඛ්‍ය විශේඥයන්ට ඉන්පසු අත්වූ ඉරණම දන්නේ දෙවියන් විතරය. අද මේ මෙහෙයුමේ ඉන්නේ මාධ්‍ය ඉදිරියේ රඟපාන්න කැමති හමුදාපතිවරයෙක් සහ තවමත් කොවිඩ් සමාජගතවී නැතැයි පවසන වසංගත රෝග විශේඥයෙක් පමණය. මේ සියලු තීන්දු තීරණ ජනාධිපති ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුවේ මිසක් අපේ නොවෙන බව කිව යුතුය. සෞඛ්‍යමය ප්‍රශ්නයකට පිළිතුර තිබෙන්නේ සෞඛ්‍යමය යාන්ත්‍රනයක් ඇතුලතය. හමුදාපතිවරයා සිය බිරිඳ සමග ගොස් ඇඳන් සංක්‍රීණයන් පරීක්ෂා කළාට වසංගතයක් සිය ව්‍යාප්තිය නවතාගන්නේ නැත. එය මර්දනය කළ යුතුය. එයට අවශ්‍ය වන්නේ සෞඛ්‍ය වැඩපිළිවෙළක් ය. පිළියන්දල වහනකොට ගාමිණි ලොකුගෙ වැනි දේශපාලකයින් මැදිහත්වී එය වළක්වාලනවානම් එහි වැරැද්ද කා අතේද? අද පිළියන්දල තත්ත්වය මුලු රටම දනී. පිළියන්දලට ගාමිණී ලොකුගේ සේම රටටම ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතුය.

අද සියලු දිස්ත්‍රික්කවලට රෝගය ව්‍යාප්තවී අවසන් ය. කොළඹින් රෝගීන් 40272ක් වාර්තාවනවිට කිලිනොච්චිය දිස්ත්‍රිකය තුළින් රෝගීන් 260ක් වාර්තා වෙයි. ලංකාව තුළ ජනගහනය මිලියනයකට කොවිඩ් රෝගීන් 6334ක් වාර්තා වෙනවිට මරණ 42කක් වාර්තා වෙයි. මෙය ඉන්දියාවේ තත්ත්වය සමග සසඳා පළක් නැත. දූපත් රාජ්‍යයක් වන ඕස්ට්‍රේලියාව තුළ ජනගහනය මිලියනයකට රෝගීන් වාර්තාවන්නේ 1178ක් සහ මරණ 36ක් ලෙසය. ඉන්දියාවේ ජනගහනය මිලියනකට කොවිඩ් ආසාදිතයන් 16157ක් සහ මරණ 176ක් වාර්තා වෙනවා කියා සතුටුවෙන්නට අපිට බැරිය. පසුගිය දවස් පහ ගතහොත් සාමාන්‍යයෙන් දිනකට මරණ 20ක් පමණ සිදුවී ඇත. මෙය ඉදිරියට තවත් වර්ධනය වනු ඇතිබව මිසක් අඩුවෙන බවක් පිළිබඳ ඉඟියක් හෝ වසංගත රෝග විශේඥයන් දෙන්නේ නැත. එනිසා දැන්වත් අතීසාරයට අමුඩ ගසන ජනාධිපතිවරයාගේ ක්‍රමය පසෙකලා නියමිත මාත්‍රාවට ටක්කයටම අතීසාරයට බෙහෙත් දිය යුතුය.

ඇයි 20 ගෙනාවේ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 20වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ 19වැනි සංශෝධනය නිසා කිසිවක් කළ නොහැකි බව පවසමිනි. පාස්කු ප්‍රහාරය වළක්වා ගන්නටත් බැරිවුණේ 19 වැනි ව්‍යවස්ථාව නිසා බව එදා ඔවුන් අපට කීවෝය. අද 20 වැනි ව්‍යවස්ථාව යටතේ හෝ ඔවුන්ට මේ ව්‍යසනය සාර්ථකව කළමනාකරණය කරගන්නට බැරිවී ඇත. සියලු බලයන් තමන් අත සංකේන්ද්‍රනය කරගෙනත් ජනාධිපතිවරයාට නිසි තීරණය නිසි වෙලාවට ගන්නට නොහැකිවී ඇත.

මෙම රෝගය පාලනය සඳහා අද ලෝකය පිළිගන්නා එකම ක්‍රමය එන්නත්කරණය කිරීමය. යුරෝපයේ රෝගයෙන් විශාල ලෙස පීඩාවිඳි ඉතාලිය, බ්‍රිතාන්‍ය අද එන්නත්කරණය මගින් සාර්ථක ප්‍රථිපල ලබාගනිමින් සිටියි. ඇමරිකාවේද මරණ අනුපාතිකය සැලකියුතු ලෙස පහත වැටී ඇත. පැණි පෝලිමේ ගිය අපද දැන් මේ එන්නත් ක්‍රියාවලිය එකම විසඳුම බව පිළිගැනීම සතුටට කරුණක් ය. එහෙත් රටේ ජනතාවගෙන් 63%කට එන්නත දෙන බවට කීවත් තවමත් එය ලබාදෙන්නට නිසි වැඩපිළිවෙළක් නැත. තවමත් එය පවතීන්නේ දේශපාලකයින් අත දේශපාලන උවමනාවන් වෙනුවෙන් ය. සැමට ඉක්මනින් ආර්ක්ෂිතව සහ පහසුවෙන් එන්නත ලබාගැනීමට තිබෙන අයිතිය තහවුරු කරන්නට තවමත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අසමත්වී ඇත.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925242කට දෙනවිට එහි දෙවෙනි මාත්‍රාව ලබාදී තිබෙන්නේ 256004 ය. මෙම ගණනයන්වලට අනුව තව විශාල පිරිසසකට කොවිෂීල්ඩ් එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාදියයුතු වුණත් එය දෙන්නට ක්‍රමයක් නැත. දේශපාලකයන් කියනා ලෙස කොක්ටේල් ක්‍රමයට එන්නත් දෙන්නට බැරිබව වෛද්‍ය මතයයි. මේ දත්ත පසුගිය 14 වෙනිදා රාත්‍රිය වෙනතුරු තත්ත්වය බවද සැලකුව මනාය. කෙසේ හෝ දැන් ලබාදෙමින් සිටින චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නත හෝ නිසි සාධාරණ ක්‍රමයකට ලබාදීම සඳහා ජනාධිපතිවරයා වහාම මැදිහත්ව කටයුතු කළ යුතුය. කොවිඩ් මරණ සංඛ්‍යාව අඩුකරගන්නට දැනට තිබෙන එකම විසඳුම එය පමණි.

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග