නීතිපතිගේ චෝදනාවට මහජන ආරක්ෂක ඇමතිගෙන් පිළිතුරක්!

වර්තමාන නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ සේවා කාලය නිමා වීමට නියමිතව ඇත්තේ මේ මස මැයි 24 දාය. ඒ නිසා ඔහු හැකි තරම් මේ දිනවල සිය රාජකාරි කටයුතු නිමා කරමින් සිටියි.

මේ අතර ඔහු ඊයේ (15) දින මහජනතාවට විශේෂ දැනුම් දීමක් සිදු කර සිටියේය. ඒ තමන්ගේ ධුර කාලය තුළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පාස්කු ප්‍රහාරය සැලසුම් කළ, ඊට ආධාර අනුබල දුන්, ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකරමින් වගකීම පැහැර හැරි කිසිවෙකුට හෝ  එරෙහිව චෝදනා ගොණු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බවය.

ඔහු එයට හේතු ලෙස සඳහන් කර තිබුනේ ඊට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන සම්පූර්ණ නොවී තිබීම බවය.  නීතිපතිවරයා ඊයේ මේ සම්බන්ධව පොලිස්පතිවරයාටද ලිඛිතව දන්වා යවා තිබුණි.

නීතිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අද (16) දින මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කොළොන්නාව ප්‍රාදේශිය ලේකම් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත කියා සිටියේ තමන් මේ පිලිබඳ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවා ඇති බවය.

මීට මාස කිහිපයකට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 42 දෙනෙකුට නඩු දාන්න අවශ්‍ය කරන සියලුම වාර්තා නීතිපතිවරයා වෙත ලබා දුන් බව පවසන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙය  දැන් අලුත් ප්‍රවණතාවයක් බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ් වාර්තාව ලැබුණු පසු මේ සම්බන්ධ ප්‍රකාශයක් කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

-ශානි-

Social Sharing
නවතම