අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපල රාජසන්තකයි – දේශබන්දු තෙන්නකෝන්

මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්හිටුවීමටත්, ඔවුන්ගේ චංචල හා නිශ්චල දේපොල රාජසන්තක කිරිමටත් පියවර ගෙන ඇතැයි ඊයේ (23) දින බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කර තිබුණේය. ඒ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මුදල් ප‍්‍රමාණය කීය වුවත් ඉදිරියට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මුදලක් කාගේ හෝ ගිණුමකට බැර වි තිබුණහොත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඒ මුදල් බැර වෙච්ච සෑම කෙනෙකුගේම බැංකු ගිණුම් අත්හිටුවීමට සහ ඒ මුදල් වලින් උපයාගත් චංචල හා නිශ්චල දේපොල සියල්ල රාජසන්තක කිරිමට පියවර ගන්නා බව ඔහු එහිදි අවධාරණය කර තිබුණි. සංවිධානාත්මක අපරාධ කල්ලි පෝෂණය කරන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හඹා යාම පොලිසිය අරඹා ඇති බව සදහන් කර සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කරන බවය.

ඔහුගේ කථාව නම් සිත් ගන්නා සුලූය. ප‍්‍රශ්නය ඇත්තේ මේවා ක‍්‍රියාත්මක වන්නේද යන්නය. මීට පෙරද පොලිස් දෙපාර්තමේන්තුව විසින් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම්, දේපොල රාජසන්තක කිරිමේ කථා මාධ්‍ය හමු ගණනාවකදී කියා තිබේ. විශේෂයෙන්ම දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකදුරේ මධුෂ්ගේ මෙරට ඇති දේපොල රජයට පවරා ගැනිම සම්බන්ධයෙන් කථා බහක් ඇති විය. ඒ සම්බන්ධයෙන් ලිපි ලේඛන ගණනාවක් හුවමාරු වුවද අවසානයේ වෙච්ච දෙයක් නැත.

තරාතිරම නොබලා මෙය ක‍්‍රියාත්මක වන්නේ නම් පළමුව දේපොල රාජසන්තක කරමින්, බැංකු ගිණුම් අත්හිටුවිය යුත්තේ මෙරට සමහර දේශපාලනඥයින්ගේය. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ වුවන් සිටිනා බව ප‍්‍රසිද්ධ රහසකි. නමුත් කෙදිනකවත් ඔවුන්ට අත තැබීමට පොලිසිය යන්නේ නැත. ඔවුන් අල්ල ගන්නේ ඊට පහළ සිටින පොඩි චරිතයකි.

මත්ද්‍රව්‍ය හෝ අපරාධ ගැන කථා කිරිමේදි ගම්පහ දිස්ත‍්‍රික්කයට හිමිවන්නේ ප‍්‍රමුඛස්ථානයකි. නමුත් කණගාටුවට කරුණ වන්නේ නීතිය ක‍්‍රියාත්මක කරන පොලිස් නිලධාරින් ඔවුන්ගේ හෙංචයියන් බවට පත්ව සිටිමය. ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ, රථ වාහන අංශයේ යැයි කියා ගන්නා නිලධාරින් මේ අපරාධකරුවන්ගේ, මත්ද්‍රව්‍යකරුවන්ගේ නිවෙස් වල කකා බිබි කාලය ගත කරමින් ඉන් නික්ම යන විට තවත් කීයක් හෝ ඔවුන්ගෙන් අතමිට මොලවාගෙන යන තත්ත්වයට අද පත්ව ඇත. මෙය ගම්පහට පමණක් පොදු වුවක් නොව සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවේම බහුතරයක් නිලධාරින් හැසිරෙන්නේ මෙසේය. මේ නිසා ජනතාව පොලිසියට තොරතුරු දිමට පැකිලෙන්නේය. තිත්ත වුවත් ඇත්ත මෙයයි. හරියට රාජකාරිය කරන නිලධාරින්ටවත් මෙවැනි නිලධාරින් නිසා ආත්ම ගරුත්වයක් තබාගෙන වැඩ කළ නොහැකි මට්ටමකට පත්ව ඇත.

එමෙන්ම ඇතැම් පොලිසියේ ලොක්කන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග පවත්වන සබ`දතා නිසා පහළ පොලිස් නිලධාරින් ඔවුන්ගේ සහචරයින් ඇල්ලීමට අකමැතිය. ඒ ලොක්කාගේ දෝස්මුරයට ලක් වෙන නිසාය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියන ආකාරයෙන් නීතිය ක‍්‍රියාත්මක වන්නේ නම් මේ සියලූ දෙනා ගැන විමර්ශන පැවැත්විය යුතුය.

Social Sharing
නවතම