ව්‍යාපෘති වලට කලින් සේවකයින් බඳවාගෙන රජයට මිලියන 39 ක් පාඩු වෙයි.

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්’ ආයතනය පූර්ණවශයෙන් රජය සතු සමාගමකි.  මේ සමාගම ඉල්මනයිට් ඛනිජ වැලි අලෙවි කිරිමට ටෙන්ඩර් කැඳවා ඇත. එහිදී ටොන් එකක් සදහා ඇ.ඩො 165ක වැඩිම මිලක් ඉදිරිපත්ව ඇත. නමුත් ඒ ගැණුම්කරු වෙනුවට මිල ගණන් ලැයිස්තුවේ තෙවන තැන සිටි ඉල්ලුම්කරුට ටොන් එකක් ඇ.ඩො 147 කට ඉල්මනයිට් ඛනිජ වැලි මෙට්රික් ටොන් 85,000ක ප්‍රමාණයක් මිලදී ගැනීම සදහා ටෙන්ඩරය ලබා දී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී පහුගියදා හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාට දැනුම් දී තිබේ.

මෙම විකිණීමට අදාළ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය මගින් පත්කළ ටෙන්ඩර් අනුකමිටුවකින් ලබා දී ඇතිබවත් ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද ලංකා මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීහු මෙහිදී  ප්‍රකාශ කර  ඇත. එහිදී  කෝප් කමිටු සාමාජිකයන් ප්‍රකාශ කර ඇත්තේ  මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීන් විසින් අමාත්‍ය මණ්ඩලය පවා නොමග යැවීමට කටයුතු කර ඇති බව නිරීක්ෂණය වන බවයි.

තවද  මේවන විට ඉල්මනයිට් මෙට්රික් ටොන් එකක මිල ඇ.ඩො 240 කට ආසන්න වන බවත් මෙහිදී හෙළිවිය. 2018 සහ 2019 වර්ෂවල ලබා ඇති මුලු අලෙවිය සාපේක්ෂව 2020 වසරේ අලෙවිය අඩු වීම සම්බන්ධව මෙහිදී කමිටුවේ අවධානය යොමුවූ අතර මෙහිදී අනාවරණය වූයේ 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී ගැනුම්කරුවෙකුට අලෙවිකළ  මෙම ඉල්මනයිට් ඛනිජ වැලි මෙට්රික් ටොන් 85,000ක ප්‍රමාණය පුල්මුඩේ නිධියේ ගබඩාකර තිබීම නිසා ආයතනයට තවදුරටත් ඛනිජ වැලි ගබඩා කිරීමට ඉඩපහසුකම් අවම වීමෙන් පාඩුවක් සිදුවන බවකි.

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිඩට් ආයතනයේ බලධාරීන් පවසා ඇත්තේ  පවතින කොවිඩ් තත්ත්වය මෙම තොගය ඉවත්කරගැනීම සදහා ඇති කාලය දීර්ඝ කළ බවයි. මෙම තොගයෙන් මුදල් ගෙවා ඇත්තේ මෙට්රික් ටොන් 65,000 ක් සදහා පමණක් බවත් තවත් මෙට්රික් ටොන් 20,000 ක් සදහා මුදල් අය කර ගැනීමට නියමිත බවත් මෙහිදී අනාවරණය විය.

ඒ අනුව මේ පිළිබදව විමර්ශනය කොට මසක් තුළ වහාම වාර්තාවක් ලබා දෙන ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාට දැනුම් දී ඇත. එසේම මෙම ඉල්මනයිට් තොගය කඩිනමින් ඉවත්කරගැනීම සහ ඊට අදාළ හිග මුදල අය කරගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස ද පැවසූ කමිටු සභාපතිවරයා මෙලෙස අමාත්‍ය මණ්ඩලය පත්කළ අනුකමිටුවක් මගින් මෙලෙස ටෙන්ඩර් ප්‍රදානය කළ ද මෙවැනි අවස්ථාවලදී මීටවඩා වගකීමකින් කරුණු සොයාබලා කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.

කෝප් කමිටු සභාපතිවරයා මේබව පවසා සිටියේ පසුගිය 23 වන දින පැවති ‘ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිඩට්’ ආයතනයේ කාර්යසාධනය විමර්ශනය කිරීමේ කෝප් කමිටු රැස්වීමේදීය.

තවද ඛනිජ වැලි අලෙවිකිරීමේ නිශ්චිත ප්‍රතිපත්තියක් සකස්කිරීමේ වැදගත්කම පෙන්වාදුන් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයා මැදිහත්වීමෙන් නිශ්චිත ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.

ඛනිජවැලි නිෂ්පාදන ඍජුව අපනයනය සදහා යොදාගත් කොඩ්බේ ජැටිය ආයතනයට අහිමිවීමෙන් පසු එහි ටග් යාත්‍රා හා බත්තල් ආදී ඇති වත්කම් විකිණීම සදහා තක්සේරු දෙපාර්තමෙන්තුව මගින් රු. මිලියන 32.3 ක තක්සේරුවක් ලබා දී ඇති අතර 2013 වසරේ සිදුකළ ලංසු කැදවීමේදී රු මිලියන 65 ක ඉහළ ලංසුවක් ලැබුණද එය විකිණීම සිදුනොවීම පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. මේවන විට දිරාපත්වෙමින් පවතින මෙම වත්කම් නියමිත තක්සේරුවට වඩා දෙගුණයක ඉහළ මිලක් ලැබුණද විකිණීමට කටයුතු නොකිරීම පිළිබද වහාම පරීක්ෂණයක් කළයුතු බව කෝප් කමිටුව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා සිටියේය.

කෝකිලායි කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ ඛනිජ වැලි ගවේශනය සදහා 2013 වසරේදි රු මිලියන 39 ක වියදමින් යන්ත්‍රෝපකරණ මිලදී ගෙන සේවකයන් 117 දෙනෙකු ද බදවා ගෙන තිබුණද ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අවසර නොදීම නිසා අතහැර දැමීම පිළිබද මෙහිදී අවධානය යොමුවිය. මෙම ව්‍යාපෘතියට අදාළ නිසි අවසරය ලබා ගැනීමට පෙර සේවකයන් බඳවා ගැනීම සහ රු.මි.39ක් වියදම් කිරීම ජාතික ධනය විශාල ලෙස අපතේ යාමක් බව පෙන්වාදුන් කමිටුව මේ පිළිබද සිය දැඩි අප්‍රසාදය පළ කළහ.

තවද මේපිළිබද වහාම විමර්ශනය කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් කමිටු සභාපතිවරයා එම නිගමන සහ කෝප් කමිටු නිර්දේශ අනුව මීට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට යොමුකරන ලෙස නිර්දේශ කළේය.

මෙම ව්‍යාපෘතිය ඛනිජ වැලි ගවේශනය සදහා රටට වාසිදායක ලෙස යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද සොයාබලා ඉදිරි කටයුතු සිදුකරන ලෙස පරිසර අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ මහතාට සහ කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා සිටියේය.

ශානි

කෝප් කමිටු වාර්තාව ඇසුරෙනි.

Social Sharing
නවතම