වසංගතයේ පාඩුව කම්කරුවන්ට පටවා කෝටි ගණනක් අහිමි කරලා!

කොරෝනා  වසංගතය හේතුවක් කොටගෙන පසුගිය  වසරේ මාස තුනක් තුලදී රුපියල් කෝටි 480 ක මුදලක් ලංකාවේ ඇඟළුම් සේවකයන්ට අහිමිකර ඇති බව පුද්ගලික අංශයේ ප්‍රමුඛතම වෘත්තීය සමිතියක් විසින්  හෙළි කර තිබේ.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය පවසන පරිදි 2020 මාර්තු අප්‍රේල් සහ මැයි මාසවල ලෝව පුරා ඇඟළුම් සේවකයන්ට වසංගතය හේතුවෙන් අහිමි කර ඇති මුදල  ඩොලර් මිලියන 7000 කි.

කම්කරුවන්ට ලැබිය යුතු එම මුදල ගෙවන ලෙස බලකරමින් ඒකාබද්ධ විරෝධතාවක් දියත් කර තිබේ.

කොව්ඩ් 19 වසංගතය ආරම්භ වූ 2020 මාර්තු මස සිට මැයි මාසය දක්වා කාලය තුළ   සමස්ත ආසියාවේම පිහිටි ඇඟළුම් කර්මාන්තශාලා වලට ඉතා තදබල ලෙස බලපෑම් එල්ල කර තිබුනි.

එම තත්ත්වයෙන් යුතු ලෙස ප්‍රයෝජන ගත් ප්‍රකට සන්නාමධාරී ඇඟළුම් ගැණුම්කරුවන් තම ඇණවුම් ඉල්ලා අස්කරගත් අතර ඇණවුම්වලට නිසි ගෙවීම් ද කර නැති බවට චෝදනා පවතින බවයි නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය පවසන්නේ.

එළෙසම ඇඟළුම් කර්මාන්තශාලා හිමියන් ද වසර ගණනාවක් සේවය කළ සේවකයන්ට අප්‍රේල් මස ගෙවීමට නියමිතව තිබූ බෝනස් මුදල් අහිමි කිරීම, සේවයට වාර්තා කිරීමට නොහැකි වූ සේවකයන්ට වැටුප් නොගෙවීම, පැමිණීමේ දීමනා අහිමි කිරීම, ප්‍රවාහන පහසුකම් ලබා නොදීම, උනන්දු දීමනා නැති කිරීම, අතිකාල කර යන්තමින් ජීවිතය ගැටගහගත් සේවකයන්ගේ අතිකාල අහිමි කිරීම වැනි ක්‍රම මගින් ඔවුනට අහිමි කළ මුදල සුළුපටු නොවන බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය නිකුත් කළ අත් පත්‍රිකාවක සදහන් වේ.

එහි දැක්වෙන ආකාරයට වසංගත සමයේ   විශාල සේවක පිරිසකගේ රැකියා අහිමි කර තිබෙන අතර  ඒ සඳහා ඔවුනට හිමිවිය යුතු වන්දි මුදල් ද ගෙවා නැත.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය පවසන්නේ මෙසේ කොවිඩ් 19 වසංගතය නිසා අසාධාරණයට ලක් වූ ලොව පුරා සිටින ඇඟළුම් සේවකයන්ට අහිමි කළ එම මුදල් ගෙවන ලෙස ඉල්ලා වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා සිවිල් සංවිධාන එකතු වී එසේ අහිමි කළ මුදල් ඇඟළුම් සේවක සේවිකාවන්ට ගෙවන ලෙසට ගැණුම්කරුවන්ට සහ කර්මාන්තශාලා හිමියන්ට බල කිරීමට 2021 මාර්තු මස 15 වන දින සිට 21 වන දින දක්වා විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මෙම සතිය පුරා එක් එක් රටවල් වල ඇඟළුම් සේවකයන්, වෘත්තීය සමිති සහ වෙනත් සංවිධාන විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන අතර පෙත්සම් අත්සන් කිරීම්, රැස්වීම් පැවැත්වීම සහ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් තමන්ට අහිමි කළ ගෙවීම් දිනා ගැනීමට කටයුතු කරන්මි සිටින බව එම පත්‍රිකාවේ වැඩි දුරටත් සදහන් වේ.

එය සතියට  සමගාමීව, ලංකාවේ ඇඟළුම් සේවකයන්ට අහිමි කළ එම දීමනා ඉල්ලා 2021 මාර්තු මස 20 වන දින කටුනායක, ගම්පහ, ජා ඇල, ඒකල, බියගම සහ මහියංගණය වැනි ප්‍රදේශවල ගනු ලබන ක්‍රියාකාරකවම්ලට  එක්වන ලෙස නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ආරාධනා කර තිබේ.

Social Sharing
නවතම