භාග්‍යාට බය ත(නි)ඩි සිංහල ආණ්ඩුව

භාග්‍යා අබේරත්න යුගයේ තරුවක් කිරීමට මේ වන විට ආණ්ඩුව සමත් වී ඇත. නමුත් එය ආණ්ඩුවේ අපේක්ෂාව නොවීය. ආණ්ඩුවේ අපේක්ෂාව වූයේ භාග්‍යා ඇතුලු ජනසමාජය නිහඩ කරවීමයි. ආණ්ඩුව ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ වර්ෂ 2015ට පෙර සිදු කරන ලද ආකාරයේ පැරණි ක්‍රමයකටය. ඒ භාග්‍යාට මේ වන විට ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් ඇත්තේ එයයි. අවුරුදු 19ක් වයසැති දැරිවියකට මේ තරම් පීඩනයක් එල්ල කිරීම ගැන ආන්ඩුව ලැජ්ජා විය යුතු අතර ආණ්ඩුවේ නායකයන්ගේ හා ආන්ඩුවේ අතවැසි නිලධාරීන්ගේ තරමද එයින් එළිදරව් වී ඇත.

ආණ්ඩුවේ බය

මේ ආණ්ඩුව බලයට පත් වීමට පෙර විපක්ෂය ගෝටා – බය යනුවෙන් පාඨයක් ඉදිරියට ගෙනාවේ ජනාධිපතිවරයා හා මෙම ආණ්ඩුව බලයට පත් වීමෙන් ජනතාවට බිය වී ජීවත් වීමට සිදු වන බවත් කියමින් ජනාධීපතිවරයා ආරක්ෂක ලේකම්ව සිටි කාල සීමාවේදී සිදු වූ නොවිසඳුනු අපරාධ රැසක් ජනතාවට සිහි ගැනවීමටය. ජනතාව බය වීම කෙසේ වෙතත් ආන්ඩුව ජනතාවට හොඳටෝම බය වී ඇති බව භාග්‍යාගේ සිදු වීම කියයි. භාග්‍යා සිරස වැඩසටහනකට ඇවිත් ප්‍රකාශ කලේ සිංහරාජය විනාශ කරන බවක් පමණි. ඇවුළුනේ ආන්ඩුවය. ආන්ඩුව ජනතාවට බය වීමෙන්ම ආන්ඩුවේ මර්ධනය ආරම්භ වනු ඇත. භාග්‍යාගේ සිදු වීමේදී ආණ්ඩුව මුට්ටිය දමා බැලුවේ නැවත පරණ පාරේ ගොස් මර්ධනයේ අවිය අතට ගැනීමටය. සිය ගණනකට වෙඩි තබා මරා දමද්දී ලක්ෂ ගණනික් මිනිසුන් නැගී සිටින මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි ජනතා අරගලය දෙස ආන්ඩුව හැරී බැලිය යුතුය. හැට නම ලක්ෂයක් ඡන්දය ලබා දී ජනාධිපතිවරයෙක් පත් කලද ආණ්ඩුවට 2/3 බලයක් ලබා දුන්නද 2009 යුද ජයග්‍රහණයත් සමග සිටි ජනතාව දැන් බොහෝ දුරට වෙනස් වී ඇති බව ආණ්ඩුව දැන්වත් වටහා ගත යුුතුය. අති විශාල බලයක් සහිත ආණ්ඩුවක් කුඩා දරුවකුගේ ප්‍රකාශයකට මේ තරම් බිය වන්නේ ඇයි. ආණ්ඩුව බලයට ගෙනා මතවාදය හා ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රතිවිරෝධතාවය භාග්‍යා එළිදරව් කරන්නීය. ඇය එය දැනගෙන කරන්නක් නොවේ. දැන හෝ නොදැන ආණ්ඩුවේ ප්‍රතිවිරෝධතාවය එළිදරව් කිරීම ආණ්ඩුව නොඉවසයි.

සෙවර්න් සුසුකි

1992 රියෝ ඩි ජැනයිරෝ නුවර පැවැති ජාත්‍යන්තර මිහිකත සමුළුව අමතමින් දේශනයක් සෙවර්න් සුසුකි නම් කුඩා දැරිවිය සිදු කළාය. ලෝකයේම අවධානය හිමි කර ගැනීමට විනාඩි 8ක වැනි සුළු කාලයක් පැවැති ඇගේ දේශනය තුළදී ඇයට හැකි විය. ඇය ඇගේ කතාව ආරම්භයේදී ම පවසන්නේ මා හට සැගවුනු න්‍යාය පත්‍රයක් නොමැති බවත් මා කතා කරන්නේ ඔවුන්ගේ අනාගතය ගැන බවයි. අනාගතයක් අහිමි වීම මැතිවරණයක් පරාජය වීමට වඩා භයානක බවත් ඇය ඇතුළු කණ්ඩායම කතා කරන්නේ සියළු පරම්පරා වෙනුවෙන් බවත් ඇය පවසයි.  (සෙවර්න් සුසුකිගේ කතාවේ  යු ටියුබ් වීඩියෝව – https://www.youtube.com/watch?v=f17Tc1IwWuQ) 1992 දී කුඩා දැරිවියක් වූ ඇගේ කතාව මේ මොහොතේ සිහියට නැගෙන්නේ භාග්‍යාගේ සිදු වීම හේතු කොට ගෙනය. භාග්‍යා ඉදිරිපත් කරන්නේ ලංකාවේ මේ වන විට ඇති ලෝක උරුමයක් වූ සිංහරාජ වැසි වනාන්තරය ගැනයි. ලංකාවේ මෙන්ම ලෝකයේම ජීවය අඛන්ඩව හා යහපත්ව පවත්වාගෙන යාමට සිංහරාජ වැසි වනාන්තරය ලබා දෙන දායකත්වය සියළු දෙනා දනී. සෙවර්න් සුසුකි 1992 කල දේශනයෙන් පසුව ලෝකයේ රාජ්‍යයන් සම්පූර්ණයෙන් වෙනස් වී පරිසර හිතකාමී ප්‍රතිපත්තියකට මාරු වුනේ නැත. නමුත් ලංකාවේ ආණ්ඩුව මෙන් සෙවර්න් සුසුකි සමග පොර බදන්නට ලෝකයේ රාජ්‍යයන් යොමු වුනේ නැත. ඇයගේ අදහසට ගරු කරන ලද අතර ඇයට කුඩා දරුවකුට ලබා දිය හැකි ගෞරවයද ලබා දෙන ලදී. සෙවර්න් සුසුකිගෙන් පසු තවත් දරුවන් සහ ඔවුන්ගේ සංවිධාන ඕනෑ තරම් මේ පාරිසරික ප්‍රශ්න හා ඒවා ඇති කරන ආණ්ඩුවල ක්‍රියාකාරීත්වයන් පිළිබඳ අදහස් පළකර ඇත. නමුත් කිසිදු ශිෂ්ට රටක් ඒ දරුවන් සමග ලංකාවේ වත්මන් ආණ්ඩුව මෙන් පොර බැදීමට ගියේ නැත. ඇෆ්ගනිස්ථානයේ ළමුන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ළමුන් යුද්ධයට බඳවා ගැනීමට එරෙහිව මලාලා යූසුෆ් නම් දැරිවිය හඩ නැගුවාය. ඇයට වෙඩි තැබීමට අන්තවාදී ත්‍රස්තවාදීන් කටයුතු කරන ලදී. වෙඩි නොතැබුවද ආණ්ඩුව භාග්‍යාට එරෙහිව මුදා හරිමින් තිබෙන්නේද මර්ධනයේ හස්තයයි.

ආණ්ඩුව බලයට පත් කල මතවාදය ආණ්ඩුවට අභිමුඛ වීම.

වර්තමාන ජනාධිපතිවරයා හා ආණ්ඩුව බලයට පත් වීම සඳහා ඔවුන්ගේ දේශපාලන කඳවුර හා පෑහුනු ජනමාධ්‍ය හා භික්ෂූන් වහන්සේලා සමග පැළ කරන මතවාදය වූයේ පැවැති ආණ්ඩුව පරිසරය විනාශ කරන බවයි. ඔවුන්ගේ මතවාදය හුදු පරිසරය පමණක් ඉලක්ක කර ගෙන බිහි නොවූ අතර පරිසරය විනාශ කරන්නේත් මුස්ලිම් ජාතිකයන් යැයි පවසන මුස්ලිම් විරෝධී මතවාදයත් එකට හොඳින් කලවම් කර ගොඩ නැගූවකි. විල්පත්තු විනාශයට එරෙහි අරගලයෙන් එය ආරම්භ විය. ජනාධිපතිවරයා බලයට පත් වූ පසු සංවිධානාත්මකව ක්‍රියාත්මක වූ බිත්ති සිතුවම් රැල්ලේ ඇතැම් සිතුවම් තුළද නිරූපනය වූයේ මුස්ලිම් ජාතිකයන් ගස් කපන චිත්‍රය. ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩ නිකුත් කරමින් මේ සිතුවම් රැල්ලේ තරුණයන්ට සුභ පතාද තිබුණි. නමුත් භාග්‍යාට ආණ්ඩුව අකාරුණික වී ඇත. දැන් ආණ්ඩුවට සිදු වී ඇත්තේ ඔවුන්ගේ හිතවතුන්ට සැලකීමට යාමේදී ඔවුන් බිහි කළ මතවාදයම ඔවුන්ට අභිමුඛ වීමයි. ඔවුන්ගේ ඒ ප්‍රතිවිරෝධතාවය භාග්‍යලා, දේවානිලා එළිදරව් කරද්දී ආණ්ඩුව නිර්වස්ත්‍ර වන බව ආණ්ඩුව දනී. ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවි, සමාජ මාධ්‍ය හා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිලා කලබල වන්නේ එබැවිනි. ආණ්ඩුව මීට පෙර දේවානිට වැටෙන්න ගැහැවේය. දැන් ගහන්නේ භාග්‍යාටය. දේවානි මෙන්ම භාග්‍යාද වැටෙන්නේ නැත. අළුත් සමාජය වැටෙන්න දෙන්නේද නැත.

ආණ්ඩුව අධික බලයකින් බලයට පත් වූ පසු ආණ්ඩුවට එරෙහි තනි තනි පුරවැසියන්ගේ මෙවන් ප්‍රතිචාර ආණ්ඩුව කිසි ලෙසකින් බලාපොරොත්තු නොවූ තත්වයකි. වෙනත් ආණ්ඩුවලට හිසරදයක් වී තිබුණු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සමිති පාලනය කර ගැනීමට ආණ්ඩුව සමත් වී තිබුණද හුදකලාව පැන නගින තනි පුද්ගල ප්‍රහාරයන් ආණ්ඩුව බිය ගැන්වීමට සමත් වී ඇත. පුරවැසියන්ගේ මෙවන් ප්‍රහාර තවත් පුරවැසියන් දිරිගන්වන බව ආණ්ඩුව දනී. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය අහෝසි කරමින් කමන්ට සිතෙන පරිදි රාජ්‍ය සේවය ආණ්ඩුව උත්සහ දරද්දී, අධිකරණයේ ස්වාධීන පත්කිරීම් ජනාධිපතිවරයා සියතට ගනිද්දී, ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය අහෝසි කරද්දී පුරවැසියන් හුදකලාව ආණ්ඩුවට එරෙහි වීම ආණ්ඩුව නොසිතූ තත්වයක් වන අතර එය වෘත්තීය සමිති ඇතුළු සිවිල් පුරවැසියන්ගේ එකමුතුවන්ට ධෛර්යය සපයන බවත් ආණ්ඩුව දනී. ආණ්ඩුව කිපෙන්නේ ඒ නිසාය. නියපොත්තෙන් කඩන්න තියනදේ පොරොවෙන් කපන්න ඉඩ නොතැබිය යුතු බව ආණ්ඩුව දනී. දේවානි ඉදිරියේ ආණ්ඩුව අසාර්ථක වූවා සේම භාග්‍යා ඉදිරියේත් ආණ්ඩුව අසාර්ථක වෙමින් ඇත. පොරොවෙන් කඩන්නවත් බැරි තරමට වර්තමානය වන විට මෙරට පුරවැසියන් තුළ තමන්ට ඇති අයිතිවාසිකම් පිළිබඳ අදහස පැළ පදියම් වී ඇත.

සත්‍ය වශයෙන්ම තනි සිංහල ආණ්ඩුවක් යැයි කියනා තඩි ආණ්ඩුව පුරවැසියාට මේ වන විටත් බිය වී ඇත. එකී බිය මත ආණ්ඩුව සිය බලය පවත්වා ගැනීම වෙනුවෙන් මර්ධනයේ හස්තය දිගු කරනු ඇත. එය හිතන තරම් ලේසි පහසු එකක් නොවනු ඇත.

නීතිඥ දුලාන් දසනායක

Social Sharing
නවතම පින්තූර ගැලරිය විශේෂාංග