අලුත්ගම පොලිසීය අලුත් ගමනකද?

ශ්‍රී ලංකා පොලිසීයේ රාජකාරියේ නියුතු තරුණ උප පොලිස් පරික්ෂකවරයෙකු සිය පොලිස් ස්ථානාධිපතිවරයා‌ සම්බන්ධයෙන් චෝදනා නගමින් සමාජ මාධ්‍යට කථා කරන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වුයේ ඉකුත් 21 දා සිටය.

නිල ඇඳුමෙන් සැරසී සිටි මෙම උප පොලිස් පරික්ෂකවරයා අලුත්ගම පොලිස් ස්ථානය ඉදිරිපිටට ගොස් එහි ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් අදහස් දක්වා තිබුණි.

ඔහුගේ මෙම අදහස් දැක්වීම මාධ්‍ය ඔස්සේ පල වීමත් සමඟ ඒ පිලිබඳ විමර්ශනයක් පවත්වා වහා ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනම් කිරීමට ඊයේ (22) කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (1) නිශාන්ත සිල්වා මහතා ක්‍රියා කර තිබුණි.

ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවයට හානිදායක වන අයුරින් කටයුතු කිරීම ඇතුලු චෝදනා 11 ක් මතය.

මෙසේ වැඩ තහනමට ලක් වුයේ දමිත් ජයසුන්දර නම් හිටපු උප පොලිස් පරික්ෂකවරයෙකි. මොහුගේ පොලිස් සේවා කාලය වසර 09 ක් පමණ වන අතර රත්නපුර, මොරටුව ආදී පොලිස් ස්ථාන රැසක සේවය කර ඇත.

අලුත්ගම පොලිස් ස්ථානයට පැමිණ වසර 02 කට පමණ පෙර රාජකාරි සඳහා පැමිණි බව කියන මෙම නිලධාරියා සිය පොලිස් ස්ථානාධිපතිවරයා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතා හට එල්ල කරන ප්‍රධාන චෝදනාව වන්නේ ඔහු විසින් ඉකුත් 06 දා පොලිසියට ගෙන ආ සැකකරුවෙකුට පැය විසි හතරක් යාමට පෙර ස්ථානාධිපතිවරයා ඇප ලබා දුන් බවටය. එමෙන්ම ඔහු එම වීඩියෝවේ සඳහන් කර ඇත්තේ ඕනෑම දේශපාලඥයෙක් කථාකළහොත් ස්ථානාධිපතිවරයා සැකකරුගේ වරද කුමක් වුවත් පැය 24 න් ඇප ලබා දෙන බවය.

දිනෙන් දිනම ස්ථානාධිපතිවරයාගෙන් එන බලපෑම වැඩි බවත් මේ තත්ත්වය පාලනය කරගැනීමට නිසා ශ්‍රී ලංකා පොලිස් සේවයෙන් අයින් වෙන්න තීරණය කල බවත් එහිදි ඔහු වැඩිදුරටත් කියා තිබුණි.

නමුත් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ මෙම සිද්ධියට පාදක වූ සැකකරුට අලුත්ගම පොලිසියේ ස්ථානධිපතිවරයා ඇප ලබා දී තිබුණේ ඔහුට පැවරී ඇති බලතල අනුව බවත් එම සැකකරු සිදුකර තිබුණේ ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානය කිරීම සහ මුඛ ආවරණ නොමැතිව සිටීම යන වැරදි බවය.

කෙසේ නමුදු මේ වන විට අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසකට එරෙහිව මේ වන විට තවත් පැමිණිල්ලක් ලැබී ඇත. ඒ බේරුවල කාන්තාවකගෙනි.

ඇය පවසා සිටින්නේ නීති විරෝධී ලෙස වදහිංසා කර අත්ඩංගුවට ගෙන ව්‍යජ නඩු පැවරිමක් සම්බන්ධයෙන්  කළුතර දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඇතුලු අලුත්ගම පොලිසියේ නිලධාරීන් පිරිසකට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කර ඇයට සාධාරණයක් ඉටු කරන ලෙසටය.

ඇය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හා පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත.

වධ හිංසාවට ලක්ව මෙසේ පැමිණිලි කර ඇත්තේ බේරුවල, මොරගල්ල, මරදාන පාර පදිංචි 57 හැවිරිදි කාන්තිලතා ද සිල්වා නැමැති කාන්තාවකි.

ඇය පවසන්නේ රෙජිස්ටාර්වරිය ඇතුළු පොලිස් නිලධාරීන් ඇගේ නිවසට පැමිණ පිටතට ඇද දමා පහර දී දරුවන් සමඟින්ම අත්අඩංගුවට ගෙන වධ හිංසා කළ බවය. මේ වනවිටත් දරුවන් අසනීප තත්වයෙන් සිටින බවද කියා සිටින ඇය ඉල්ලා සිටින්නේ නීති විරෝධි ලෙස කටයුතුකල අධිකරණයේ හා පොලීසියේ නිධාරීන්ට මෙම අපරාධයට සහභාගි වූ සිවිල් පුරවැසියන්ටත් නීතිමය පියවර ගන්නා මෙන්ය.

-ශානි-

Social Sharing
නවතම