නියෝජ්‍ය පොලිස්පති ධූරයකට කාන්තාවක් පත්විය නොහැකි ද?

ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ශ්‍රී ලංකාවෙන් බිහිවූ බවට අප පුරසාරම් දොඩන්නෙමු. නමුත් අද වන විට ශ්‍රී ලංකාව තුළ නියෝජ්‍ය පොලිස්පති ධූරයට කාන්තාවකට පත්විය නොහැකි යැයි පෙත්සමක් ගොනු වී තිබීමත් ඉහත කී අපගේ ඉතිහාස කතාවත් අතර ඇත්තේ මහත් නොගැළපීමකි. කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්,ඔවුන්ගේ සම රැකියා අවස්ථා වෙනුවෙන්, කතිකාවතක් ගොඬ නැගී ඇති මොහොතක පොලිස් නීතියේ එක් වචනයක් හුවා දක්වමින් තනි කාන්තාවකට මෙලෙස අභියෝග කිරීම පිළිබඳ මා හට ඇත්තේ දැඩි පිළිකුලකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස බිම්ෂානී ජාසිංහ ආරච්චි මහත්මිය පත්වීම බල රහිත කරන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත්තේ ඇයගේම වෘත්තියේ නියලෙන සහෝදර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකි.

කාන්තාවක් සඳහා ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්වීම සඳහා අදාළ රෙගුලාසි නොමැති බවත් එහි කාන්තාව යන වචනය සඳහන්වී නොමැති බවත් ඔවුන් එහි සඳහන් කර ඇති කරුණුය. රෙගුලාසියක සඳහන් කරුණු වෙනස් කරමින් කාන්තාවට සම අයිතීන් හිමි කර දීමට උත්සහ කළ යුතු මොහොතක එහි සඳහන් කරුණු ඇයව සේවයෙන් පහ කිරීමට ආයුධයක් කර ගැනීම සැබවින්ම ඉතා කණගාටුදායක තත්ත්වයකි.

සාමාන්‍ය ව්‍යවහාරයේ පවා අප නිවසක ප්‍රධානියා හඳුන්වන්නේ ගෘහ මූලික නමිනි. නමුත් ඉතා ධෛර්යය සම්පන්න ලෙස තම පවුල වෙනුවෙන් කැප වී වෙහෙස වන කාන්තාවන් අප සමාජය තුළ අප කොතෙකුත් දැක තිබේ. “ගෘහ මූලිකා” ලෙස එම වචනය වෙනස් නොවුනත් අතීතයේ සිටම අප රට තුළ අඩු වැඩි වශයෙන් මේ තත්ත්වය හඳුනා ගත හැකි මොහොතක පොලිස් නීතියේ සඳහන් වචනයක් වෙනුවෙන් ඇයව සේවයෙන් පහ කළ යුතු යුතුද යන්න මට ඇති ගැටලුවයි.

වසර 154 පැරණි පොලිස් ඉතිහාසයේ නව පිටුවක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස තේරී පත් වූ බිම්ෂානී මහත්මිය රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකි. ඇය 1997 පෙබරවාරී 4 දින පොලිස් දෙපාර්තමේන්තුවට එක් වන්නේ උප පරීක්ෂකවරියක් ලෙසිනි. 2001 දී ඇය ඒ.එස්.පී විභාගය සමත් වූ නමුත් කාන්තා නිලධාරිනියක ලෙස ඇයගේ තනතුර වෙනුවෙන් සටන් කිරීමට සිදු විය. 2017 දී ඇය එස්.එස්.පී ලෙස උසස් වීම සිදු විය. රහස් පොලිසියේ ද සිය රාජකාරිය සිදු කර ඇති ඇය නියෝජ්‍ය පොලිස්පති ධූරය ලැබීමට පෙර ළමා හා කාන්තා අපයෝජනය වැලැක්වීමේ කාර්‍යංශයේ අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කළාය. එපමණක් නොව ඇය ශ්‍රී ලංකා පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨතම කාන්තා පොලිස් නිලධාරීවරියයි.

ඇයගේ සුදුසුකම් හා දක්ෂතා මත මෙම තනතුර සඳහා ඇයට කිසිදු බාධාවක් නොමැති නමුත් ඇයගේ ස්ත්‍රීත්වය එයට හරස් කර ගැනීම කෙතරම් ගැටළු සහගතද? ඇය ඉහළ තනතුරකට යාම ඇයගේ ජයග්‍රහණයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයන්හි සේවයට එක් වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණියන්ගේ අපේක්ෂාවන්වලට පවා දිරි ගැන්වීමකි. ජාත්‍යන්තර කාන්තා දිනය අත ළඟ ඇති මොහොතක ස්ත්‍රීත්වය යන පදනම මත ඇයට සිය වෘත්තිය තුළ සීමා වීමට සිදු වීම ගැන අප ලැජ්ජා විය යුතුය. එමෙන්ම ඉලක්කයක් කරා නොබියව යන කාන්තාවකට ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු එකතු වී සිදුකළ මෙම අසාධාරණයට එරෙහිව අප එක්ව හඬ නැඟිය යුතුමය.

නීතිඥ ලිහිනි ප්‍රනාන්දු ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී

https://www.facebook.com/lihini.fernando/videos/624254238405695/

Social Sharing
නවතම