පාසල් දරුවන්ට සාධාරණය ඉටු වන්න අධිකරණයකටම යා යුතුද ?

අතීතයේදි ගුරුවරුන් සැලකූයේ මිහිපිට දෙවිවරු ලෙසිනි. අම්මා, තාත්තාට පසු ජිවිතය කියා දෙන්නේ ගුරුවරුන්ය. නමුත් වර්තමානයේදී ඇතැම් ගුරුවරුන් ක්‍රියා කලාප නිසා මේවන විට දැඩි පීඩාවට පත්ව ඇති දරුවන් බොහෝය.

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට8 පෙරේදා  (12) තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, සිදුවූ හානිය වෙනුවෙන් එම ගුරුවරයාගේ පෞද්ගලික මුදලින් රුපියල් 150,000 ක් තුවාල ලැබූ සිසුවාට  ගෙවන ලෙසත්, තවත් රුපියල් ලක්ෂ 5ක මුදලක් සිසුවාට වන්දි වශයෙන් ගෙවන ලෙසත් රජයට නියෝගය කළ පුවතක් ලංකාදීප පුවත්පත මඟින් වාර්තා කර තිබුනේය.

එම පුවතට අනුව අදාළ වන්දි මුදල්, නියෝග ලබා දුන්  (12) දින සිට මාස 6ක් ඇතුළත ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත. සිසිර ද ආබෲ සහ මුර්දු ප්‍රනාන්දු මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  එස්.තුරේරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

හේවා මද්දුමගේ කරුණාපාල සහ පල්ලේ කම්කානම්ලාගේ දෝන කුමුදුනී යන මහත්ම මහත්මීන් විසින් ඔවුන්ගේ 15 හැවිරිදි දරුවා වෙනුවෙන් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය ජයන්ත ප්‍රේමකුමාර සිරිවර්ධන , එම විද්‍යාලයේ විදුහල්පතිනී එම්.ලීලාවතී යන මහත්ම මහත්මීන් ඇතුළු 6දෙනෙකු නම් කරනු ලැබ තිබිණි. පෙත්සම්කාර සිසුවා වෙනුවෙන් නීතීඥ තීශ්‍ය වේරගොඩ මහතා පෙනී සිට ඇත.

විනය හෝ කිසිදු හේතුවක් මත දරුවකු හිංසාවට  පත් කළ යුතු  නැතැයි  යන්න  අවධාරණය කරමින් මෙම  වන්දි මුදල්  නියම කර ඇති  ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පහර දීම  මගින්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වැනි වගන්තිය  මගින්  සහතික කර කෲර වධ හිංසාවලට  ලක් නොවී සිටීමට ඇති   මූලික අයිතිවාසිකම උල්ලංඝණය වී ඇතැයි තීරණය කර තිබේ. ඒ් අනුව අදාල වන්දි මුදල ගෙවීමට ගුරුවරයාට නියම වී ඇත.

මෙය ශ්‍රේෂ්ඨාධිකරණය දරුවන්ගේ අයිතිවාසිකම් සුරකිමින් ලබා දුන් නඩු තීන්දුවක් ලෙස සැලකිය හැකිය. මෙවන් නඩු තීන්දුවක් 2019 ජනවාරි 31 වෙනිදාද කරුණෑගල මහධිකරණය විසින් ලබා දී තිබුණේය.

ඒ්  ජෝන් කොතලාවල විද්‍යාලයේ ගුරුවරියක වූ 55 හැවිරිදි රම්‍යා ද සිල්වා හට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දීමය.

ඊට හේතු වුයේද එම ගුරුවරිය  එකොලොස් වන ශ්‍රේනියේ ඉගෙනුම ලැබූ චතුර ශ්‍රී ලාලිත නම් ශිෂ්‍යයා හට 2011 දී සිදු කලා යයි කියන කායික පහරදීමක් සම්බන්ධවය. ඇය පහර දී තිබුණේ ඇගේ පුද්ගලික පන්තියට ඔහු සහභාගි නොවීම උරණකොට ගෙනය.

මේ අතර 2014 වසරේ පෙබරවාරි 5 වනදා එම පාසලේම ශිෂ්‍යාවක වූ වෙනූෂා ඉමන්දි සියදිවි හානි කරගත්තාය. ඊට හේතු වී තිබුනේ ඇයට විදුහල්පතිවරයා විසින් ඉතා අසභ්‍ය වචන කියමින් ද ප්‍රසිද්ධියේ බැණ වැදීම නිසා සිත් තැවුලට පත්වය.  මෙම සිදුවීම් සිදුවන කාලයේ කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිව සිටියේ සමන් ඉන්ද්‍රරත්නය. වෙනුෂා මිය යාමට පෙර ඇගේ සිය දිවි නසා ගැනීමට හේතුව ලෙස සඳහන් කර තිබුණේ විදුහල්පතිවරයාගේ අසභ්‍ය බැණ වැදිම නිසා සිදු වු පීඩනය බවය. ඇගේ මරණය සම්බන්ධයෙන්  ළමා රක්ෂණ අධිකාරිය පරික්ෂණයක් පැවැත්වුවද වෙනුෂාගේ ආත්මයට සාධාරණයක් ඉටු වුයේ නැත.

එමෙන්ම මෙම විදුහල්පතිවරයා මලියදේව ජාතික පාසලේ විදුහල්පතිවරයා ලෙස පත් වී යාමෙන් පසුව එම විද්‍යයාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාව සිටි දරුවෙකුට අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පවා පැමිණිලි ලැබුණේය. නමුත් එකී විදුහල්පතිවරයා සම්බන්ධයෙන් දරුවාට සාධාරණයක් ඉටු වුයේ නැත.

මේ අතර පහුගිය වසරේදි අනුරාධපුරයේ පාසලක ගුරුවරයෙකුද ශිෂ්‍යයෙකුට සිදුකළ පහරදීමක් නිසා රෝහල් ගත කළ පුවතක් මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.

මේ සිදුවීම් දෙස බැලීමේදි පෙනී යන කරුණක් වන්නේ පාසල් දරුවන්ට සිදුවන අකටයුතුකම්, අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වීම අල්ප බවකි. ඔවුන්ට සාධාරණ්‍යක් ඉටුවීමට නම් නීතිය ඉදිරියට යා යුතුව ඇත්තේය. එහිදි බොහෝ දෙනා දරුවන් විවේචනය කරන්නේ ගුරුවරුන්ට එරෙහිව යාමක් ලෙසිනි. නමුත්  ඊට මඟ සලසා ඇත්තේද රජය විසින්මය.

ශානිකා

 

Social Sharing

Related posts