නැගෙනහිර පාගමනට පොලීසියෙන් බාධා!

දෙමළ ප්‍රජා නායකත්වයෙන් නැගෙනහිරින් ආරම්භ කෙරුණු පාද යාත්‍රාවට දැඩි ලෙස  අවහිර පැනවීම සම්බන්ධයෙන් පොලිසිය දෝෂ දර්ශනයට ලක්වී සිටී.

සුළු ජාතීන්ගේ මානව හිමිකම් දිගින් දිගටම උල්ලංඝනය වෙමින් පැවතීමට විරෝධය දක්වා දෙමළ ජනයා නැගෙනහිර සිට උතුර දක්වා ආරම්භ කළ සාම පාද යාත්‍රාව හැත්තෑ තුන්වැනි නිදහස් දිනයට පෙරදා අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරයෙන් දියත් කරන ලදී.

එය සිව් දිනකට පසු  යාපනය දිස්ත්‍රික්කයේ පොලිකන්ඩියෙන් නිම වීමට නියමිතව ඇත්තේ  ජනවාරි 6 දා ය.

පෙබරවාරි 3 බදාදා උදෑසන 9.30 ට පොතුවිල් නගරයෙන් ගමන් ඇරඹී සාම පාද යාත්‍රාව කිලෝමීටර 100 ක් පසු කරමින්  පස්වරු 5 පමණ  වන විට මඩකලපුව තාලන්කුඩා දක්වා පැමිනි පළමු දිනයේ  අධිකරණ නියෝග ඉදිරිපත් කරමින් පොලීසිය විසින් පාද යාත්‍රාව නතර කිරීමට අවස්ථා ගණනාවකදීම උත්සාහ දැරු අයුරු පාද යාත්‍රාව වාර්තාකරණයේ යෙදී සිටි මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයේ සටහන්ව තිබේ.

අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් විසින් නැගෙනහිර සිට උතුර දක්වා සංවිධානය කර තිබූ පාද යාත්‍රාවට එක්වීමට නියමිතව සිටි කතෝලික රදගුරුවරුන්, ක්‍රිස්තියානි පුජකවරුන්, අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ සංගම් නායිකාවන්, දෙමළ විපක්ෂ මන්ත්‍රීවරුන්, බහුජන ක්‍රියාධරයන්, ප්‍රජා නායකයන්, වෘත්තීය සමිති හා වෙළෙඳ සංගම් නායකයන් ට අමතරව  මාධ්‍යවේදීන් ද ඇතුළුව  තිහකට වැඩි පිරිසකට එරෙහිව උසාවි නියෝග ලබා ගැනීමට පොලීසිය පෙබරවාරි මාසයේ පළමු දින දෙක තුලදී කටයුතු කර තිබුනි.

කෙසේ නමුත් අධිකරණ නියෝග නොතකමින් ජනයා විරෝධතාවයට එක්ව සිටියහ.

සාම පාද යාත්‍රාවේ පළමු දිනය අවසන් කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසපුත්‍රම් අවධාරණය කර තිබුනේ අගනගරයේ විරෝධතා නොමැති වසංගත ගැටළු  නැගෙනහිර ජනයා විරෝධතා දක්වන මොහොතේ ඉස්මතු කිරීම දුක දනවන කරුණක් බවයි.

“කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිනීම පිළිබව උද්ඝෝෂණ කිරීමේ දී  නැති කොරෝනා ගැටළු  මඩකලපුව දිස්ත්‍රික්කයේ  අම්පාර දිස්ත්‍රික්කයේ අපි උද්ඝෝෂණ කරද්දී විතරක්  එන එක ඉතාමත් දුක හිතෙන්න ඕනේ කාරණයක්.”

නැගෙනහිර සිට උතුර දක්වා ක්‍රියාත්මක කරන සාම පාද යාත්‍රාව  දෙමළ, මුස්ලිම් ජනයගේ අයිතින් අහිමි වීමට එරෙහිව සිදු කරන සාමකාමී උද්ඝෝෂණයක් බවයි මන්ත්‍රීවරයා එහිදී වැඩි දුරටත් සදහන් කළේ.

දෙමළ ජනතාවගේ ඉඩම් අහිමිකිරීම, වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි නොකිරීම, කොරෝනාබාධිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ  මළ සිරුරු පුළුස්සා දැමීම හා පාස්කු ප්‍රහාරයෙන් පසු “බොරුවට  අත්අඩංගුවට ගෙන සිටින”  තරුණ තරුණියන් නිදහස් කරන ලෙස බල කිරීමත් විරෝධයේ අරමුණු බව නවක මන්ත්‍රීවරයා එහිදී තව දුරටත් අවධාරණය කළේය.

පාද යාත්‍රාවේ දෙවැනි දිනය ජාතික නිදහස් දිනයදා පෙරවරු 9 ට මඩකලපුවෙන් ආරම්භ වී ත්‍රිකුණාමලයෙන් නිමා වීමට නියමිතය.

Social Sharing
නවතම