වැළලෙන්ට පෙර, අවස්ථාවක්…

කොවිඩ් 19 වෛරසය ශරීරගත වීමෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිවැරදි හා විද්‍යානුකූල ප්‍රථිපත්තියක මෙතෙක් කටයුතු කිරීමට ආණ්ඩුවට අපොහොසත් වීම නිසා මේ වන විට රට තුළ කොරෝනා හා සමාන තවත් අර්බුදයක් නිර්මාණය වෙමින් තිබේ.

ඊයේ (28) ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටට රැස් වූ බෙංගමුවේ නාලක හිමි, මාගල්කන්දේ සුදත්ත හිමි, අක්මීමන දයාරත්න හිමි ඇතුලු ජාතික සංවිධාන එකමුතුවේ භික්ෂූන් වහන්සේලා විරෝධතාවයක යෙදෙමින් රජයට බල කර සිටියේ ජන වරමට පිටුපා අන්තවාදයට ඉඩ දී කටයුතු කරන්නේ නම් තමන් වහන්සේලා ඊට එරෙහිව පාරට බහින්න සූදානම් බවයි.

ඔවුන් ඉල්ලා සිටියේ එක රටක්, එක නීතියක් යටතේ කටයුතු කර වෛරසය ආසාදනය වීමෙන් මිය යන සියලුම දෙනාම ආදාහනය සිදු කරන ලෙසයි.

වත්මන් රජය ගෙන ඒමට විශාල කැප වීමකින් කටයුතු කරනු ලැබූ මෙම ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධාන සටන් පාඨය වුයේ වත්මන් රජය විසින් ගෙන එන ලද 2020 අප්‍රේල් 11 වන දින නිකුත් කල අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව කොරෝනා ආසාදනය වීමෙන් මිය යන සියලුම පුද්ගලයින් ආදාහනය කළ යුතු නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

කොවිඩ් මෘතදේහ අදාහනය පිළිබදව අදහස් දක්වන අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා රාවය පුවත්පත සමග පවසා සිටියේ මෙම සිද්ධිය නිසා සමස්ත මුස්ලිම් සමාජයම කළකිරීමට සහ බියට පත්වී සිටින බවයි.

එමෙන්ම, මෙම කලකිරීම තව දුරටත් පැවතියහොත් යම් කොටසකට එය ආයුධයක් කරගත හැකි බවත්, ඉන් පීඩාවට පත් තරුණ කොටස් සම්බන්ධ කරගනිමින් ඔවුන් යම් කිසි අන්තවාදී  ස්ථාවරයකට තල්ලු කිරීමට හැකි වන බවට ඔහු අනතුරැ අගවා තිබේ.

ඔහු වැඩි දුරටත් පවසන්නේ ලංකාවේ විශිෂ්ඨතම වෛරසවේදියා වන්නේ හොංකොං විශ්ව විද්‍යාලයේ සිටින මහාචාර්ය මලිත් පීරිස්, වෛද්‍ය පබා පලිහවඩන, වෛද්‍ය නිහාල් අබේසිංහ ඇතුලු විශිෂ්ඨයන් මළ සිරුරු මිහිදන් කිරීමට ඉඩ නොදීම විද්‍යාත්මක පදනමක් නොමැති කාරණාවක් බව පෙන්වා දී සිටිය දී පවා මෙසේ සිදු කිරීම තේරැම්ගත නොහැකි බවත්ය.

මින් පෙර කිසිදු දේශපාලණ ව්‍යාපාරයක් සමග සක්‍රීය සම්බන්ධතාවයත් පවත්වාගෙන නොසිටි බව පැවසෙන, වත්මන් ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙකු හා වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව පැවරී තිබූ බොහෝ නඩු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙන්ම, වත්මන් ආණ්ඩුවේ සිටින එකම මුස්ලිම් අමත්‍යවරයා වන අලි සබ්රි මහතා මේ අවස්ථාවේ පත්වී සිටින ව්‍යාකූලත්වය මින් පැහැදිලි වේ.

ඊයේ (28) පැවති උද්ඝෝෂණයට දින දෙකකට පෙර එනම් දෙසැම්බර් 26 වන දින ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ නිකාය එකාබද්ධව ගොඩ නගා ඇති සාමග්‍රි සංඝ සභාව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ වෛරස් ආසාදිත සිරුරු පුළුස්සා දැමීම විද්‍යාත්මක පදනමකින් තොර බැවින් එම සිරුරු භුමදානය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි.

එම නිවේදනය මගින් තව දුරටත් පෙන්වා දෙන්නේ 2020 අප්‍රේල් 11 ගැසට් නිවේදනය වර්තමානයට නොගැලපෙන වසංගතයේ ස්වභාවය පිළිබදව විද්‍යාණුකූල අවබෝධයකින් තොරව කරන ලද නිවේදනයක් බවත්ය. ශ්‍රී ලංකාවේ වැඩිම සංඝයා වහන්සේ පිරිසක් නියෝජනය කරන නිකායන් දෙකක් මෙවැනි අවස්ථාවක එකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීම ප්‍රසංශනීය කටයුත්තකි.

නමුත් ඊයේ (28) රාත්‍රී ප්‍රවෘත්ති මගින් විකාශණය වුයේ අධි ශීතාගාර තුළ බහා තිබු කොරෝනා වෛරසය ආසාදිත මෘත දේහයන් කිහිපයක් නැවතත් රජයේ වියදමින් ආදාහනය කිරීමට කටයුතු කළ බවයි. කෙසේ හෝ තව දුරටත් කල් නොයවා මේ ගැටළුව නිරාකණරය කර ගැනීමට රජය වහා කටයුතු කළ යුතුය.

මේ සම්බන්ධව සාධාරණ හා යුක්ති සහගත විසදුමක් ලබා දීමට නොහැකි වුවහොත් කොරෝනා වෛරසය පාලනය සදහා රට තුළ සිටින මුස්ලිම් ප්‍රජාවගේ සහාය ලබා ගැනීම තව දුරටත් බරපතල ප්‍රශ්ණයක් වීමට ඉඩ තිබේ.

දැනටමත් වෛරසය පාලනය සදහා ඔවුන් දක්වන ප්‍රථිචාරයන් ඉතා පහල මට්ටමක පවතින බවට වාර්තා වන අතර, රෝගය පිළිබදව සත්‍ය තොරතුරැ හෙලිදරව් කිරීම හා පරීක්ෂණ කටයුතු සදහා දායක වීම සම්බන්ධව ද මෙම ප්‍රජාව තුළ ඇත්තේ ඉතා පහල උනන්දුවකි.

එක් ප්‍රජාවකට ඉතා සංවේදී මෙන්ම සංකීරණ වූ මෙම ගැටළුව පිළිබදව වත්මන් රජය කටයුතු කරන ආකාරය සම්බන්ධව මෙහි බැරෑරුම් කම අවබෝධ කරගත් ශ්‍රී ලාංකික පුරවැසියන් ගෙත්, සමස්තයක ලෙස මුලු ලෝකයේත් අවධානය අප වෙත යොමු වී තිබේ.

විශේෂයෙන් අතීතයේ සිට විවිධ අවස්ථාවල දී ශ්‍රී ලංකා රජයට සහාය දැක් වූ අරාබි රටවල් ද මේ සම්බන්ධව දක්වන ප්‍රථිචාරයන් ද අනාගතයේ අපට ඉතා තදින් බලපානු ඇත.

-පිලිප් දිසානායක-

Social Sharing
නවතම