ට්‍රැවල් බබල් ආවා.. ආවා..

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට ගුවන්තොටුපල වසා දැමුනේ පසුගිය මාර්තු 19 වෙනිදායි. ඒ අනුව පසුගිය මාස 09ක කාලය පුරා මෙරටට කිසිදු සංචාරකයෙකු නොපැමිණි අතර ගුවන්තොටුපල මෙහෙයුම් ක්‍රියාත්මක වූයේ විදෙස්ගත ශ්‍රමිකයන් රැගත් විශේෂ ගුවන්යානා සඳහාත්, ගුවන් භාණ්ඩ ප්‍රවාහනය හා මගී හුවමාරු කටයුතු සඳහාත් පමණි. සිය ජීවනෝපාය අහිමි වීම හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරයේ සෘජු හා වක්‍ර යැපුනු ලක්ෂ 30කට ආසන්න පිරිසක් පීඩාවට පත්වූහ.

මේ තත්වය සැලකිල්ලට ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ආර්ථික පුනර්ජීවන කමිටු සභාපති බැසිල් රාජපක්ෂ, සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ විශේෂ මැදිහත් වීම මත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල හා රට සංචාරකයන්ට විවෘත කිරීමට සැලසුම් කෙරිණ. සංචාරකයින් මෙරට ගෙන්වීම සඳහා සංචාරක සංවිධාන ආයතන 03ක් ඉදිරිපත්ව තිබුණි. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ හා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවල සංචාංරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කලහ. ඒ සඳහා අනුමැතිය ලබාදෙමින් කැබිනට් මණ්ඩලය තීරණය කලේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය සිදු කිරීමටයි. එහෙත් කොවිඩ් 19 දෙවන රැල්ල හේතුවෙන් එය තරමක් ප්‍රමාද වුවද සංචාරක ඇමතිවරයා දිගින් දිගටම රජයට කරුණු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නියමු ව්‍යාපෘතියක් ලෙස ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමට තීරණය කෙරිණ. සැබවින්ම මේ ක්‍රියාදාමය පිටුපස සිටියේ රැසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගය. ඔහු විසින් ඉදිරිපත් කරන ලද බබල් ටුවරිසම් ව්‍යාපෘතිය මෙලෙස ක්‍රියාත්මක විය.

මාස නවයකට පසු ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පහුගිය 26 දාය. නමුත් මේ වනවිට එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල් රැසක පැතිර යන කොවිඩ් නව වෛරස් ප්‍රභේදයක් නිසා ඔවුන්ගේ පැමිණිම දිනි කිහිපයකට අත්හිටුවන ලදි. එසේ අත්හිටුවනු ලැබු විදේශීය සංචාරකයින් ඊයේ (28) දින ලංකාවට පැමිණියහ.

ඒ අනුව (28) දහවල් 2.08ට Pq 555 දරණ ස්කයි අප් ගුවන් යානයෙන් යුක්රේනයේ කිවී (kiev) නුවර සිට යුක්රේන සංචාරකයෝ 186 දෙනෙකු මත්තල ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන් අතර යුක්රේන ජාතික ළදරුවන් 20දෙනෙකු පමණ සිටීයි.

මෙම යුක්රේන සංචාරක කණ්ඩායම පැය 72කට පෙර PCR පරීක්ෂාවට ලක් කෙරුනු අතර ඔවුන්ට අඳාල හෝටල් වල ලැඟුම් ගැනීමට පෙර තවත් PCR පරීක්ෂාවකට ලක් කෙරිණ. ඉදිරි දින 07 තුල ඔවුන්ට යළි PCR පරීක්ෂාවක් සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඔවුන් දින 10ක් මෙරට තුල රැඳී සිටීමට නියමිතය. කොග්ගල ප්‍රදේශයේ වෙරලාශ්‍රිත ප්‍රදේශවල ඔවුන් ලැඟුම්ගන්නා අතර එම ප්‍රදේශවාසීන්ට සංචාරකයන් ගැවසෙන ප්‍රදේශ වලට යාමට ඉඩනොලැබෙන බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

මාස ගණනකට පසු දිවයිනට පැමිණි පලමු සංචාරක කණ්ඩායම පිළිගැනීම සඳහා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, ගුවන්තොටුපල රාජ්‍ය ඇමති ඩී.වී.චානක, ගුවන්තොටුපල සහ ගුවන් සමාගමේ සභ‍ාපති විශ්‍රාමික මේජර් ජී.ඒ.චන්ද්‍රසිරි ඇතුළු පිරිසක් එක්ව සිටි අතර  මත්තල ගුවන්තොටුපල පරිශ්‍රයේ ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ නර්ථනයක් සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසිනි.

මේ අතර මත්තල ගුවන්තොටුපල පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් සඳහන් කර තිබුණේ (28) සිට ජනවාරි 24 දින දක්වා මෙම සංචාරක නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවය.  රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවල් වලින් සංචාරකයන් 2580ක් මෙරටට පැමිණීමට නියමිත බවය. සංචාරක බුබුල (Travel Bubble) සංකල්පය යටතේ ක්‍රියාත්මක වේ.

මෙම නියාමන ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ විශ්ලේෂණය කර එහි අඩුපාඩු හඳුනාගෙන ඒවාද නිවැරදි කර ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ලබන ජනවාරි මස අග දී ගුවන්තොටුපල නිල වශයෙන් යලි විවෘත කිරීමට අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහිදි  කියා සි‍ටියේය.

 

Social Sharing
නවතම