උත්සව සමයට ලබා දුන් “ක්ෂණික ණය” ඇස් බැන්ඳුමක්ද?

පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා ආර්ථික දුෂ්කරතා හා අභියෝග රැසකට මුහුණ දී සිටින සැමට එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්ෂණික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය පහුගියදා කියා තිබුණේය.

මේ ණය යෝජනා ක්‍රමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත  ක්‍රියාත්මක කිරීම සඳහා වන චක්‍ර ලේඛය අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කොට තිබුණේ දෙසැම්බර් 15 දාය.

කොවිඩ් වසංගත තත්ත්වය තුළ රටේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම  සඳහා කැපවී කටයුතු කළ සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස් ආදී වූ සේවාවන්හි නියුතු සමස්ත රාජ්‍ය සේවයට මේ ණය යෝජනා ක්‍රමය යටතේ සහන ලබාදීමට රාජ්‍ය සේවා අමාත්‍යාංශය අදාළ චක්‍ර ලේඛය මගින් උපදෙස් ලබාදී තිබුණි.

ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගින් ණය ලබාගැනීමේ පහසුව සළසා තිබෙන අතර පරිපූරක සහන මූල්‍ය පහසුකම් ලබාගැනීමට කැමති රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේ සේවකයින් සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම්දිය යුතු බවද එහිදී ප්‍රකාශ කෙරුණි.

ආයතන ප්‍රධානියා තම සේවකයින්ගේ සහතික කළ නාමලේඛනය සේවා ස්ථානය අසල රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළවිට එම බැංකු ශාඛාව සේවකයින්ගේ ගිණුම්වලට නියමිත මුදල නොපමාව බැර වේ.

රජයේ විශ්‍රාමිකයින්ට සහ සමෘද්ධි ලාභීන්ට ණය සම්පාදනය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ සමෘද්ධි බැංකුවට පැවරුනු අතර ත්‍රී රෝද, පාසල් වෑන් සහ බස් රථ හිමියන් මෙන්ම පෞද්ගලික බස්රථ සේවකයින් වැනි අයටද සිය බැංකු ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත ජාතික හැඳුනුම්පත ඉදිරිපත්කර සහන ණය මුදලට ඉල්ලුම්කළ හැකි සේම දෛනික රැකියාවන්හී නිරතවූවන්ට ද මෙම පහසුකම සළසා තිබෙන බව ප්‍රකාශ විය.

මේ පරිපූරක උත්සව ණය යෝජනා ක්‍රමය සියයට 0. 625 ක පොලී අනුපාතයක් යටතේ මාස 10 කින් ගෙවීමට යටත් වන පරිද්දෙන් ලබා දීමට නියමිතය.

ණය සම්පාදනය සිදුකෙරෙන්නේ කාණ්ඩ තුනක් යටතේය. මසකට ආදායම රුපියල් 50,000.00 කට වැඩි රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 50,000.00ක ණය මුදලක් ද රුපියල් 25,000.00 ත් රුපියල් 50,000.00ත් අතර වැටුප් ලබන නිලධාරීන් සඳහා රුපියල් 25,000.00ක ණය මුදලක්ද මසකට රුපියල් 25,000.00 කට අඩු වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 10,000.00ක ණය මුදලක්ද මේ ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගැනීමට හැකි වේ.

මේ ණය ලබා ගැනීමට සමෘද්ධි හිමියන් ගිය විට එහිදි සමෘද්ධි බැංකු වලින් දන්වා ඇත්තේ ණ්‍ය ලබා දෙන්නේ තෝරාගත් පස් දෙනෙකුට හෝ තුන් දෙනෙකුට බවය. ඒ් අනුව රජය පැවසු පරිදි මේ ක්ෂණික ණය සියලු සමෘද්ධි හිමියන්ට ලැබෙන්නේ නැත. තෝරා ගන්නේද සමෘද්ධි නිලධාරීන්ගේ හිතවතුන්ය. මේ එක් නිදසුනක් පමණකි. මෙලෙස ආණ්ඩුව කියු ක්ෂණික ණය ලබා ගැනීමට නොහැකිව සුසුම් හෙලන බොහෝ දෙනෙක් මේ මහ පොලව මත සිටිති.

මේ සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ නත්තල් සමයේ උත්සව අත්තිකාරම් වශයෙන් ඉතා අඩු පොලියට ණය මුදලක් ලබා දීම ජනතාවගේ හිතසුව පිණිස ක්‍රියාත්මක වැඩපිළිවෙළක් නොව ආණ්ඩුවේ තවත් එක් මාටියා ගැසිල්ලක් බවය.

Social Sharing
නවතම