55 හෝ 60 න් විශ්‍රාම යෑම සේවකයාට ඇති අයිතියක්! – කම්කරු ඇමති කියයි.

2021 අයවැයෙන් යොජනා රැසක් ඉදිරිපත් විය. ඒ අතරින් යෝජනා වූ එකක් වුයේ පෞද්ගලික අංශයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු හැට දක්වා දීර්ඝ කිරීමටය. ඒ දැනට විශ්‍රාම යන අවුරුදු 55 වෙනුවට අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීමය.

නමුත් වයස අවුරුදු 55 න් විශ්‍රාම යාමට සිටින ඇතැම් සේවකයින් මෙන්ම ඇතැම් සේවක හාම්පුතුන් මෙයට කැමැත්තක් දැක් වූයේ නැත. ඒ නිසා කම්කරු අමාත්‍යාංශයේදී මේ පිලිබඳ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෘත්තීය සමිති නායකයන් සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළේය.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කම්කරු නායකයන් දිගු කලක පටන් කරන ලද ඉල්ලීම අනුව විශ්‍රාම යාමේ වයස මෙලෙස දීර්ඝ කළ බවත්, නමුත් යම් සේවකයෙකුට වයස අවුරුදු 55 දී සිය සේවය අවසන් කර EPF හා ETF තැන්පත් ලබා ගැනීමට අවශ්‍ය නම් හෝ අවුරුදු 60 දක්වාම සේවය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ද සේවකයාට වරණීය අයිතිය ඇති බවය.

මෙම තීන්දු ක්‍රියාත්මක කිරීමේදී වෘත්තීය සමිති නායකයින් විසින් සිය සාමාජිකයන්ට අවශ්‍ය නම් වයස අවුරුදු 55න් විශ්‍රාම යාමට ඇති අයිතිය තහවුරු කළ යුතු යන මතය පිළිගත යුතු බවද, එසේ පනස් පහෙන් විශ්‍රාම යන්නේ නම් ඔවුන්ට එසේ විශ්‍රාම යන අවස්ථාවේ තමන්ගේ අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ලබාදීම සාධාරණ බවය. එසේම වයස අවුරුදු 60 දක්වා සේවයේ යෙදීමට කැමැත්ත පළ කරන්නේ නම් එම සේවකයන්ට වයස අවුරුදු 60න් විශ්‍රාම යන අවස්ථාවේදී එම අර්ථ සාධක අරමුදල ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ද  අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එසේම විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 55 ලෙස තීරණය වූ කාලෙට වඩා අද ආයු අපේක්ෂාව වැඩි වී ඇති නිසා ජාතික විශ්‍රාම ගැන්වීමේ වයස ද ඊට සාපේක්ෂකව ඉහළ දැමිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

මේ පිළිබඳව කරුණු දැක්වූ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන් කියා සිටියේ ප්‍රතිපත්තියක් වශයෙන් මෙම යෝජනාව පිළි ගත හැකි වුණත්, සමහර කාර්මික ක්ෂේත්‍රයන්හි වයස අවුරුදු 55 න් පසු සේවකයන් රඳවා තබාගැනීමේ ප්‍රායෝගික ප්‍රශ්න හා ගැටලු මතුවන බවය.

එසේම මෙම  වයස අවුරුදු පනස් පහක් ඉක්ම වූ අයගෙන් ලබාගත හැකි නිෂ්පාදන සහ සේවා ඵලදායිතාවය පවතින්නේ අඩු අගයක බැවින් එම සේවකයන් වයස 60 දක්වා සේවයේ රඳවා ගැනීම සම්බන්ධව සේව්‍ය පාර්ශවයන්ට අර්බුද පැන නඟින බවය. එම නිසා එසේ ජාතික විශ්‍රාම ගැන්වීමේ වයස හැට දක්වා දීර්ඝ කරන්නේ නම් දැනට සාමූහික ගිවිසුම් වල ඇති අන්තර්ගත කරුණු ද ඇතුළත් කර අදාල පනත් සංශෝධනය කිරීමේ වැදගත්කම සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක වීරසිංහ මහතා පෙන්වා දුන්නේය

මේ පිළිබද යම් නිර්නායකයන් අදාල පනත් සංශෝධනයන්ට ඇතුලත් කිරීමට අවශ්‍ය නම් වෘත්තීය සමිති නායකයන් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන් සාකච්ඡා කර එම යෝජනා තමන් වෙත ලබාදෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කළේය. ඒ අනුව කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එකී සාකච්ඡා කමිටුව කඩිනමින් කැඳවා එම තීන්දු තීරණ අරගෙන තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට මෙහිදී උපදෙස් දුන්නේය.

ඒ අනුව ඉදිරියේ දී මෙම මේ පනත් සංශෝධනයට අදාළ නීති කෙටුම්පත් සකස් කිරීම සිදුකරන බව  අමාත්‍යවරයා ජාතික කම්කරු උපදේශක සභා නියෝජිතයන්ට පැවසීය.

-ශානිකා-

Social Sharing
නවතම