මහර ගැටුමෙන් මිය ගිය රැඳවියන්ගේ මෘත දේහ ගැන තීරණය අර්බුදයකට!

මහර බන්ධනාගාරය තුල හටගත් ගැටුමට මාසයක් පීරීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණය. එහෙත් එම ගැටුමෙන් වෙඩි වැදී, තුවාල ලබා මිය ගිය රැඳවියන් කිහිප දෙනෙකුගේ මෘත ශරීර තවමත් ඇත්තේ අධි ශිතකරණ තුලය. ඒ ඔවුන්ට තම භූමියේ මිහිදන් වීමට ඇති අවස්ථාව, අයිතිය තවමත් නොලැබීම නිසාය.

මහර බන්ධනාගාර කැරැල්ලෙන් පසු ජිවිතක්ෂයට පත් වූ රැඳවියන්ගේ මෘත දේහ 11 කඩිනමින් ඒ අවස්ථාවේ රජය ආදාහනය කිරීමට උත්සහ කළේ කොවිඩ් වසංගතය පෙන්වමිනි. නමුත් ඊට මියගිය රැඳවියන්ගේ ඥාතීන් එරෙහි වූ අතර සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඔවුන්  වෙනුවෙන් පෙනී සිටියේය.

එහි ප්‍රතිඵලයක් ලෙස එදා කිසිඳු පරීක්ෂණයකින් තොරව ආදාහනය කිරීමට සැරසුණු මෘතදේහ එලෙස ආදාහනය නොකර පශ්චාත් මරණ පරීක්ෂනයකින් පසු අවසන් කටයුතු කිරීමට අවස්ථාව සැලසුණි. ඒ අනුව මේ වන විට මෘත ශරිර 04 ක පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අවසන් වී ඇති අතර එම මරණ වලට හේතු වී ඇත්තේ වෙඩි වැදීමෙන් වූ තුවාල බවට අනාවරණය වී ඇත. එලෙස පරීක්ෂණ කටයුතු අවසන් වූ මෘත ශරීර හතරෙහි අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිලිබඳ වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා විසින් ඉකුත් 16 දා පැවති නඩු වාරයේදී දැනුම් දුන්නේ අප්‍රේල් 11 දා සෞඛ්‍ය අමාත්‍යවරිය නිකුත් කර ඇති කොවිඩ් ආදාහන සම්බන්ධ ගැසට් නිවේදනය අනුව මෙම මෘත දේහ ආදාහනය කරන ලෙසය.

මිය ගිය සෙසු රැඳවියන් හත් දෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා ඊයේ (23) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටි නමුදු ඉන් කොවිඩ් ආසාදිත මෘතදේහ හතරක පමණක් මරණ පරික්ෂණ වාර්තා රහසභ්‍ය වාර්තාවක් ලෙස ඉදිරිපත් කර තිබුණි.

මෙහිදි නීතිපති  වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිරාශා ජයරත්න මෙනෙවිය පෙර මෘතදේහයන් මෙන්ම මෙම මෘත දේහයන් හතරද කඩිනමින් ආදාහනය කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියාය. නමුත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව එයට විරෝධය පෑම නිසා මෙහි අවසන් තීරණය ලබා දීමට මේ මස 30 වෙනිදා තෙක් නඩුව කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විශේෂ ප්‍රකාශයක්ද කරමින් පවසා සිටියේ කොවිඩ් ආසාදිත දේහයන් ආදාහනය කරන්නේද නැතහොත් භූමිදානය කරන්නේද යන්න පිලිබඳව රජය සෘජු තීරණයක් නොගැනීම හේතුවෙන් අධිකරණය මෙන්ම නීතිපතිවරයා අපහසුතාවයට පත් වන බවය.

මේ අතර බන්ධනාගාර වල ඇති වන කැරලි මර්දනය කිරීම සඳහාත්, බන්ධනාගාරවල විශේෂ ගණයේ රැඳවූවන් ආරක්ෂණය කිරීමට බන්ධනාගාර බුද්ධි අංශයට අනුබද්ධව විශේෂ ඒකකයක් පිහිටුවන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කර ඇත.

මේ සඳහා අනුමැතිය ඉල්ලමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ඒ මහතා කීවේය.  ස්ථාපිත කෙරෙන විශේෂ ඒකකයේ රාජකාරී සඳහා සේවක හිඟය පියවීම සඳහා කඩිනම් පියවරක් ලෙස යුද හමුදාවෙන් වසර 12 ක සේවා කාලය අවසන් කර ඉවත්වූ 500 දෙනකු ජනපති උපදෙස් මත බඳවා ගැනීමට නියමිතව ඇත.

යුද හමුදා පුහුණුව ලබා තිබෙන බැවින් ඔවුන් කෙටි පුහුණුවකින් පසු සේවයේ යෙදවීමට හැකියාව තිබෙන බවත් මෙම පිරිස බන්ධනාගාර කැරලි මර්දනය කිරීමටත් විශේෂ ගණයේ රැඳවූවන් ආරක්ෂණය කිරීමටත් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය තහනම් ද්‍රව්‍ය ගෙන ඒම වැලක්වීමත් යෙදවීමට අපේක්ෂා කරන තුෂාර උපුල්දෙණිය මහතා මහනුවරදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

-ශානිකා-

Social Sharing
නවතම