පහව නොයන ධම්මිකගේ පැණි උණුසුම!

කොවිඩ් වසංගතය මේ වන විට ලංකාවේ පුද්ගලයින් 176 ක් බිලි ගනිමින් 37261 කුට ආසාදිත වී ඇත. මේ නොපෙනෙන මාරාන්තික සතුරා පරාජය කිරීමට මේ වන විට දේශීය ඖෂධ කිහිපයක් රජයට ඉදිරිපත් කෙරෙමින් පවතියි. ඒ අතර වැඩිම අවධානයක් යොමුව ඇත්තේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර ගේ පැණියටය.

ධම්මික බණ්ඩාර දැන් දිනපතා පුවත් මවන්නෙක් බවට පත්ව ඇත. ඔහු ගිය සතියේ අනුරාධපුර අටමස්ථානාධිපති ඉදිරියේ හැසිරුණු ආකාරයේ උණුසුම පහව යන්නත් පෙර නැවත කරළියට පැමිණ සිටින්නේය.

ඒ නෙලුම්දෙණිය, උඩුකුඹුර ප්‍රදේශයයේදීය. ජනතාව රැස් කිරීම අවම කර තිබියදී, සියලුම නිරෝධායන නීති, සෞඛ්‍ය නීති කුණු කූඩයට දමා ජනතාව පොදියට රොක් වී ඊයේ (20) දිනයේද ඔහුගෙන් පැණිය ලබා ගැනීමට පැමිණිමය.

උඩුකුඹුර ප්‍රදේශයේ නිවසක් වෙත පොර කකා පැමිණෙමින් සිටි ජනතාව පොලීසියට පාලනය කර ගැනීමටද අසීරු වූ අතර පැමිණි සිටි අය හා ධම්මික බණ්ඩාර වෙද මහතා අතර උණුසුම් වචන හුවමාරු වන අයුරුද දක්නට ලැබුණි.

ඔහු පැමිණ සිටි පුද්ගලයින්ට පැවසුයේ ඔහුගේ කොල්ලන්ට අත නොතබන ලෙසය. අතක් තබා තිබුනහොත් වෙන දේ බලා ගන්න පුලුවන් බවට තර්ජනය කළේය.

මේ ආකාරයෙන් ඔහු පැණි බෙදන්නට යාම පිලිබද රජයේ කිසිවෙකුත් තවම කිසිඳු අදහසක් දක්වා නැත. ඔවුන් බලා සිටින්නේ ද පැණි පොකුරක් නිර්මාණය වන තුරුද යන්න විමසිය යුතුව ඇත. අවම වශයෙන් ධම්මික ඔය විදිහට පැණි බෙදන්න එපා යැයි පැවසීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම ඇතැම් විට කාලිගේ අනුහස් විය හැකිය.

ධම්මික බණ්ඩාර නම් මෙම පුද්ගලයා නිෂ්පාදනය කළ ඖෂධය සුදුසු නම් එය රජය විසින් ජනතාවට බෙදා දෙනු ඇත. එසේ නොමැතිව ඔහු සීමාව ඉක්මවා යමින් හැසිරීම තුල ඔහු සමාජයට, රටට පෙන්නුම් කිරීමට උත්සහ දරන්නේ ඔහුගේ අනිසි බලය විය හැකිය.

පෙර සබැඳි

01- https://www.aithiya.lk/dammika-bandara-visits-sri-maha-bodiya/

02-https://www.aithiya.lk/corona-prevention-immunization-life-drink/

Social Sharing
නවතම