
රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ දිගු ප්‍රමාදයන් හේතුවෙන් දිවයින පුරා බන්ධනාගාර 22ක රඳවා සිටින සැකකරුවන් 15,117 දෙනෙකුට නිදහස ලබා ගැනීම ප්‍රමාද වී ඇති බව ජාතික විගණන කාර්යාලයේ නවතම විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇත.
එම වාර්තාවට අනුව, අධිකරණය නියම කළ සුළු දඩ මුදල් පවා ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බන්ධනාගාර 28ක රැඳවියන් 1,940 දෙනෙකු තවදුරටත් රඳවා තබා ගැනීමට සිදුව තිබේ.
මෙම තත්ත්වයන් බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි තදබදයට ප්‍රධාන හේතු අතර වන බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
ඊට අමතරව, මත්ද්‍රව්‍ය භාවිතය, සන්තකයේ තබා ගැනීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන රැඳවියන් අනෙකුත් රැඳවියන්ගෙන් වෙන්කර රඳවා තැබීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද වාර්තාවේ සඳහන් වේ.
මෙලෙස මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් පාතාල අපරාධකරුවන් සමඟ එකම පරිසරයක රඳවා තැබීම හේතුවෙන් බන්ධනාගාර අභ්‍යන්තරයේ පාතාල ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය වී ඇති අතර, එහි බලපෑම සමාජය වෙතද පැතිර යා හැකි බරපතළ අවදානමක් නිර්මාණය කර ඇති බව ජාතික විගණන කාර්යාලය සිය වාර්තාව මඟින් අවධාරණය කරයි.
