පාර්ලිමේන්තු වරප්‍රසාද මඟින් මාධ්‍යවේදීන් දඩයම් කිරීමට ගන්නා උත්සාහය අයිතිය උදෙසා මාධ්‍ය වේදීයෝ හෙළා දකියි!

පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය අවභාවිත කරමින් මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීමේ හෝ ඔවුන් බිය ගැන්වීමේ කිසිදු උත්සාහයක් ප්‍රජාතන්ත්‍රවාදයට සහ මාධ්‍ය නිදහසට බරපතළ තර්ජනයක් බව පෙන්වා දෙමින්, “අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ” සංවිධානය එවැනි ක්‍රියාමාර්ග දැඩි ලෙස හෙළා දැක තිබේ.

එම සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත බීබීසී සිංහල සේවයේ කර්තෘ ඉෂාරා ධනසේකර සහ මාධ්‍යවේදී සම්පත් දිසානායක යන මහත්ම මහත්මීන් ජූලි 23 වැනිදා පාර්ලිමේන්තු වරප්‍රසාද කාරක සභාව හමුවට කැඳවීමට ගත් උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැනි බවයි.

උපුටා ගැනීම මෙසේය, 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, බීබීසී සිංහල සේවයේ කර්තෘ ඉෂාරා ධනසේකර සහ මාධ්‍යවේදී සම්පත් දිසානායක යන මහත්ම මහත්මීන් එළඹෙන ජූලි 23 වැනිදා පාර්ලිමේන්තු වරප්‍රසාද කාරක සභාව හමුවට කැඳවීමට ගත් උත්සාහය ‘අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ’ සංවිධානය ලෙස අපි දැඩි සේ හෙළා දකිමු. සමාජ විරෝධය හමුවේ එම තීරණය වෙනස් කර මෙම කැඳවීම නැවැත්වීමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව තීරණය කර ඇති බවට ඇතැම් ආරංචිමාර්ග වාර්තා කළද, මාධ්‍ය ආයතනයක් වරප්‍රසාද කමිටුවට කැඳවීමට ගත් මෙම උත්සාහය අතිශය ගැටලු සහගත වන අතර, ඉදිරියේදී වෙනත් මාධ්‍යවේදීන් ද මෙලෙස කැඳවීමේ සාධාරණ සැකයක් හා අවදානමක් පවතින බව එම සංවිධානය අවධාරණය කරයි. 

තවද ඔවුන් සඳහන් කර සිටින්නේ මෙය නෛතික පදනමක් නොමැති කැඳවීමක් බවයි.

මෙම මාධ්‍ය නිවේදනය තුළින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට මෙවැනි පදනම් විරහිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ රජයට අපකීර්තියට පත් කරන ක්‍රියාවලින් වළක්වා ගැනීමේ වගකීම පිළිබඳව සිහිපත් කර ඇත.

එමනිසා කිසිදු නෛතික පදනමක් නොමැතිව ජනමාධ්‍ය නිදහසට බරපතළ සීමා ඇතිකරන මෙම අත්තනෝමතික කැඳවීම වහාම අත්හිටුවීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස වැඩිදුරටත් එම සංවිධානය ඉල්ලා ඇත.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්

අයිතිය උදෙසා මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිවේදනය

Social Sharing
නවතම පුවත්