
මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට පැහැර හැර ඇති රුපියල් බිලියන 6.2කට වැඩි හිඟ බදු මුදල් අය කරගැනීම සඳහා දිසා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා ශ්රේෂ්ඨාධිකාරණයට ඊයේ (20) දැනුම් දුන්නේය.
සමාජ ක්‍රියාකාරීන් 17 දෙනකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ (20) කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මේ බව දැනුම් දුන්නේය.
බදු ගෙවීම පැහැරහැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් පැහැරහැර ඇති බදු මුදල් අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත මහතා අතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් පෙත්සම ගොනුකර තිබේ. පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා, නීතිපතිවරයා. මුදල් රාජ්‍ය ඇමැතිවරයා, විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක් මෙන්ම මෙන්ම ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම (W.M. Mendis & Co. Limited), වයඹ ඩිස්ටිලරීස්, ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස් ලංකා සමාගම, මැකලම් බෘවරි සමාගම, කළුතර සමුපකාර දේශීය මත්පැන් නිෂ්පාදකයන්ගේ සංගමය, ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් කෝපරේෂන්, සිනර්ජි ඩිස්ටිලරීස්, රන්දෙණිගල ඩිස්ටිලරීස් ලංකා සමාගම, හිඟුරාණ ඩිස්ටිලරීස් සහ රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් ඇතුළු පාර්ශ්ව කිහිපයක්ද නම්කර තිබේ.
මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට ගෙවිය යුතු සුරාබදු ගෙවීම පැහැරහැර ඇතැයිද එලෙස ගෙවීම පැහැරහැර ඇති බදු මුදල් අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කාර සංජය මහවත්ත මහතා ඉල්ලා සිටී. පෙත්සම්කාර සංජය මහවත්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් වගඋත්තරකරුවන් වෙනුවෙන් දැක්වූ කරුණුවලට අනුව සිදු කරන කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා පෙත්සම කැඳවීමට දිනයක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා පෙත්සම නොවැම්බර් 16 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.
උපුටා ගැනීම දිනමිණ
