
ජනමාධ්‍යවේදී ළහිරු දොළොස්වල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට යුද හමුදා සහ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ බව කියන හිරිහැරකාරී සහ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා තිබේ.
සංගමය නිකුත් කළ නිවේදනයකට අනුව, The Morning පුවත්පතේ වෙබ් කර්තෘවරයා වන ළහිරු දොළොස්වල මහතා පසුගිය ජූලි 15 වැනිදා සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ මෝටර් රථයෙන් නිවස බලා යමින් සිටියදී, හමුදාපතිවරයාගේ ආරක්ෂක රථ පෙළට අයත් ලෑන්ඩ් කෲසර් රථයක් ඔවුන්ගේ වාහනයේ ගැටී තිබේ.
සිද්ධියෙන් අනතුරුව දොළොස්වල මහතා එය වීඩියෝගත කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී, කොමාන්ඩෝ නිලධාරියෙකු විසින් ඔහුට තර්ජනය කර වීඩියෝ කිරීම නවත්වන ලෙස බලපෑම් කළ බවත්, එම සිදුවීම හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් දැඩි මානසික කම්පනයකට පත්වූ බවත් සංගමය සඳහන් කරයි.
එමෙන්ම, පසුව වැලිකඩ පොලිස් ස්ථානයේදී පැමිණිල්ලක් සටහන් කිරීමට ගිය අවස්ථාවේ දී ද හමුදා නිලධාරීන් තිස්දෙනෙකුට ආසන්න පිරිසක් පැමිණ පැමිණිල්ල ඉදිරිපත් කිරීම වළක්වා ගැනීමට උත්සාහ කළ බවත්, ඔහු බියගැන්වීම්වලට ලක් වූ බවත් එම නිවේදනයේ දැක්වේ.
අවසානයේ ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබුණද, බලපෑම් හේතුවෙන් එය විකෘති කර ඇති බවත්, ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ වීඩියෝ සාක්ෂි බලහත්කාරයෙන් මකා දැමූ බවටත් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය චෝදනා කරයි.
පැය හතරකට ආසන්න කාලයක් පුරා පැවති මෙම සිදුවීම හේතුවෙන් ළහිරු දොළොස්වල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බව සඳහන් කරන සංගමය, මෙවැනි ක්‍රියා නීතියේ ආධිපත්‍යයට හා ජනමාධ්‍ය නිදහසට බරපතළ තර්ජනයක් බවද අවධාරණය කරයි.
ඒ අනුව, සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ සිද්ධිය පිළිබඳ ස්වාධීන හා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ජනමාධ්‍ය නිදහස සහ සිවිල් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ගනු ලබන පියවර පිළිබඳව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටී.


