වීරෝධතා දැක්වූ රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි දිල්ලි පොලිසීයෙන් අත්අඩංගුවට!

NEET ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියට එරෙහිව විරෝධතාවයේ නිරත වූ සිසුන්ට පොලීසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය පාමින් ඉන්දීය අගමැතිවරයාගේ නිල නිවස ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ ඉන්දීය ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි සහ කොංග්‍රස් නායිකා ප්‍රියංකා ගාන්ධි වද්රා ඊයේ (21) දිල්ලි පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අගමැති නිල නිවස අසල විරෝධතාව පැවැති ස්ථානය ඉවත් කිරීමට පියවර ගත් පොලීසිය, විපක්ෂ නායකයින් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගනිමින් එම ස්ථානයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. මෙම මෙහෙයුමේදී ප්‍රියංකා ගාන්ධි වද්රා සූදානම් කර තිබූ පොලිස් බස් රථයක් වෙත තල්ලු කර දමනු ලැබීය.
මෙම පොලිස් මෙහෙයුමේදී සමාජවාදී පක්ෂ නායක අකිලේෂ් යාදව් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමට පෙර ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ යාදව්, සිසුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මධ්‍යම රජයේ ප්‍රතිචාරය ප්‍රශ්න කරමින් කියාසිටියේ, “සිසුන්ගේ ඉල්ලීම්වලට සවන්දීම අගමැතිවරයාගේ වගකීමක්. ඔහු ඒ ඉල්ලීම් පිළි නොගන්නේ මන්ද?” යනුවෙනි.

අත්අඩංගුවට ගෙන රැගෙන යන අතරතුර අදහස් දැක්වූ ප්‍රියංකා ගාන්ධි වද්රා, “ඔවුන් බියගුල්ලන්. ඔවුන් ඉන්නේ බියෙන්. අපි ඔවුන්ට බිය නැහැ. ඔවුන් තමයි අපිට බිය වී සිටින්නේ,” යැයි පැවසුවාය.

මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් කර්නාටක මහඇමති ඩී.කේ. ශිවකුමාර් මෙය “කණගාටුදායක” සිදුවීමක් ලෙස හැඳින්වූ අතර විපක්ෂය සටන් කරන්නේ සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් බව පැවසීය.

“අපි හැමෝම සටන් කරන්නේ මේ රටේ සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. අපිට අවශ්‍ය සාධාරණය ඉෂ්ට වීමයි. මේ ගැන පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට අපිට අවශ්‍යයි… මන්ත්‍රීවරුන් 100 කට වැඩි පිරිසක් මෙහි සිටිනවා. අත්අඩංගුවට ගැනීමට කිසිවෙකු බිය නැහැ… සාධාරණය ඉෂ්ට වන තෙක් මෙම ව්‍යාපාරය ඉදිරියටම යනවා,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

උපුටා ගැනීම Ceylon Wire

Social Sharing
පුවත් විදෙස්