
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගෙන ඇති විශාලතම සමූහ සුසානය ලෙස සැලකෙන යාපනය චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ කැනීම් කටයුතු අතරතුර මතුකරගත් මිනිස් ඇටසැකිලි සංඛ්‍යාව 460 ඉක්මවා තිබේ.
උතුරේ බලහත්කාරයෙන් අතුරුදහන් කළ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, වසරකට වැඩි කාලයක් පුරා අදියර තුනක් යටතේ දින 93ක් සිදු කළ කැනීම්වලදී පුද්ගලයන් 467 දෙනෙකුට අයත් අස්ථි කොටස් සොයාගෙන ඇති අතර, මේ වන විට පුද්ගලයන් 444 දෙනෙකුට අයත් මිනිස් ඇටසැකිලි හඳුනාගෙන ගොඩගෙන ඇති බවයි.
තුන්වැනි අදියරේ කැනීම්වල 39 වැනි දිනය වූ ජූලි 21 දින අලුතින් මතුකරගත් මිනිස් ඇටසැකිලි 13 අතරින් තුනක් කුඩා දරුවන්ගේ බව හෙළි වී තිබේ. අද දිනයේ ද තවත් මිනිස් ඇටසැකිලි හතරක් ගොඩගෙන ඇති බව වාර්තා වේ.
කැනීම් අතරතුර විශේෂ අවධානයට ලක් වූ සිදුවීමක් ලෙස එරමිණියකින් බැඳ, හිඳගෙන සිටින ඉරියව්වෙන් වළදමා තිබූ මිනිස් සිරුරක් ජූලි 19 දින හඳුනාගෙන තිබේ. නීතිඥ රනිතා ඥානරාජා සඳහන් කළේ එම සිරුර සම්පූර්ණයෙන් ගොඩගෙන අවසන් කර නොමැති බවයි. මීට පෙර 2025 සැප්තැම්බර් 5 දින ද මෙවැනිම ආකාරයෙන් වළදමා තිබූ මිනිස් සිරුරක් හමුවී තිබූ අතර එය සමූහ සුසානයෙන් මතුකරගත් 227 වැනි මිනිස් අස්ථිය ලෙස සටහන් කර තිබුණි.
වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන්ගේ නායකත්වයෙන් කැනීම් සිදුකරන කණ්ඩායම මේ වන විට එකම ස්ථානයක අපිළිවෙළට වළදමා තිබූ මිනිස් අස්ථි පොදි 29ක් ද හඳුනාගෙන තිබේ.
කැනීම්වලදී මිනිස් අස්ථි සමඟ පාරිහාරික වස්තු 130කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන ඇත. ඒ අතර ළදරු කිරි බෝතල්, බෝනික්කන් ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන්, පාසල් බෑග් සහ කාසි කිහිපයක් ද ඇතුළත් වන අතර, මෙම සොයාගැනීම් මඟින් එම ස්ථානයේ කුඩා දරුවන් ද සිටින්නට ඇති බවට සැක මතුවී තිබේ.
අධිකරණ නියෝග මත යාපනය චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ කැනීම් කටයුතු 2025 මැයි 15 දින ආරම්භ කෙරුණු අතර, ඒවා වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීම යටතේ අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.
