
මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය අවසානයේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් ඒ පුංචිහේවා මහතා පැවසීය.
සිද්ධියට අදාලව රැඳවියන්ගෙන් සහ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇතැයි පැවසූ කොමසාරිස්වරයා සිරකරුවන් බොහෝ පිරිසක් ඈත දුර බැහැර ප්‍රදේශ වලට මාරුකර යවා සිටීම හේතුවෙන් එම කටයුතු තරමක් දුෂ්කර වී තිබෙන බවද ප්‍රකාශ කළේය.
විමර්ශන අවසානයේ ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් බාරදීමට කොමිසම බලාපොරොත්තුවෙන් සිටී.
මේ අතර අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් සකස් කෙරුණු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු සතියේ දී කතානායකවරයාට භාර දීමට නියමිතය.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියේ වගකීම තමා භාරගන්නා බව අධිකරණ අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කළේය.
සිද්ධිය අවස්ථාවේ දී නිලධාරීන්ගේ අතින් යම් අතපසුවීමක් සිදුවූයේ දැයි සොයා බැලීම මෙම විමර්ශනයේ මූලික අරමුණ බව කොමිසම පවසයි
මේ අතර වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා ගිය නම නිලධාරීන්ට බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවසර නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර ඇත
මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක් පසුගිය ජුලි 7 වෙනිදා වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා ගොස් ඇති අවස්ථා වේදී බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවසර ලැබී නොමැත.
මේ අනුව පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම අවස්ථාවක රැඳවුම් භාරයේ පසුවන ස්ථාන වෙත ඇතුළු වීමට කොමිසමට බලය පවරා ඇති 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත, බන්ධනාගාර බලධාරීන් මෙලෙස උල්ලංඝනය කර ඇති බව කොමිසම පෙන්වා දෙයි.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්. ටී. බී. දෙහි දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියා 14 වැනිදා පැවැති සාකඡාවකදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, එම අවස්ථාවේ බන්ධනාගාරය තුළ පැවැති අස්ථාවර ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කොමිසමේ නිලධාරීන්ට ඇතුළු වීමට අවසර නොදුන් බවයි
එම අවස්ථාවේ පැවැති සැබෑ තත්ත්වය කොමිසමේ නිලධාරීන්ට නිසි ලෙස සන්නිවේදනය කිරීමට අපොහොසත් වීම පිළිබඳව බන්ධනාගාර බලධාරීන් එහිදී කනගාටුව පළ කර ඇති අතර, ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදු නොවන බවට සහතිකයක් දවී ඇත.
කෙසේ වෙතත්, බන්ධනාගාර නිලධාරීන් දුන් මෙම පැහැදිලි කිරීම පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.
උපුටා ගැනීම ලංකාදීප
