
2012 වසරේ මාතලේ මහ රෝහල් භූමියේ අනාවරණය වූ සමූහ මිනීවළ සම්බන්ධයෙන් 2015දී වසා දමා තිබූ නඩු ගොනුව යළි විභාගයට ගන්නා ලෙස ‘88–89 අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව’ ඉදිරිපත් කළ ඉල්ලීම මාතලේ මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු හර්ෂණ ධනුෂ්ක රත්නායක මහතා ඊයේ (16) ප්‍රතික්ෂේප කළේය.
අතුරුදන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මහත්මිය මෝසමක් මඟින් 2015 වසරේ අවසන් තීන්දුවකින් තොරව වසා දමා තිබූ මෙම නඩුව යළි විභාගයට ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
එහිදී අදහස් දැක්වූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, පෙර විනිසුරුවරයෙකු විසින් ලබා දී ඇති තීරණයක් එම අධිකරණය හමුවේ නැවත විභාග කළ නොහැකි බවයි. ඒ අනුව, නීතිපතිවරයාගේ උපදෙස් මත සුදුසු ඉහළ අධිකරණයක මෙම නඩුව ගොනු කළ හැකි බව දන්වමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
මෙම සමූහ මිනීවළ 2012 වසරේ මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ජීව වායු ඒකකයක් ඉදිකිරීම සඳහා සිදු කළ කැණීම් අතරතුර අනාවරණය විය. අධිකරණ නියෝග මත පවත්වාගෙන ගිය කැණීම්වලදී මිනිස් සිරුරු 150කට අධික සංඛ්‍යාවකට අයත් අස්ථි කොටස් සොයාගෙන තිබූ අතර, එම කැණීම් අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මණ්ඩලයක් සහ පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.
පසුව එම අස්ථි සාම්පලවල කාල නිර්ණය සඳහා අමෙරිකාවේ රසායනාගාරයකට සාම්පල යොමු කර වාර්තා කැඳවූ අතර, ඒ අනුව 2015 වසරේදී අවසන් නියෝගයක් ලබා නොදී නඩු ගොනුව වසා දැමීමට මාතලේ අධිකරණය කටයුතු කර තිබිණි.
මේ අතර, නඩුව යළි විභාගයට ගන්නා ලෙසත් තමන්ට යුක්තිය ඉටු කරන ලෙසත් ඉල්ලමින් ‘88–89 අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව’ මාතලේ අධිකරණය ඉදිරිපිට 16 වන දා සාමකාමී සත්‍යග්‍රහයක ද නිරත විය.
