ඖෂධ පෙති 21,000 බන්ධනාගාර රෝහලට ආවේ කොහොමද?

මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ සමහර බෙහෙත් වර්ග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් භාවිත කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක  අද පවසා තිබුනි.

අද (දෙසැම්බර් 1)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ඔහු තවදුරටත් අවධාරණය කර තිබුනේ, කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් බන්ධනාගාරය තුළ පිහිටි බොහෝ දේපලවලට හානි කර ඇති බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා තිබුණේ එම ගැටුම්කාරී තත්ත්වය ඇති කිරීමට මුල් වී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රිමාන්ඩ් රැඳවියන් බවයි.

එසේම ඖෂධ ගබඩාවේ මානසික ආතතියට ප්‍රතිකාර කරන සහ නිද්‍රාජනක ඖෂධ පෙති 21,000 පමණ තිබී ඇති අතර, එම පෙති රැඳවියන් විසින් භාවිත කර ඇති බවත් දැනට තුවාල ලබා රෝහල්ගත කර සිටින සමහර රැඳවියන් ඒ හේතුවෙන් ව්‍යකූලත්වයෙන් හැසිරෙන බවත්, ඔහු පැවසුවේ යැයි ජන මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම ඖෂධ පෙති මෙපමණ ප්‍රමාණයක් එම බන්ධනාගාර රෝහලට ගෙන ආවේ කුමන හේතුවක් මත ද යන්න පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත් වීමට නියමිත බව ඔහු තවදුරටත් පවසා තිබේ.

රාගම රෝහලේ නියෝජ්‍ය  අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි  පවසන්නේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 108 දෙනෙකු මේ වන විටත්  රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

මේ වන විට රෝහල්ගතව සිටින රැඳවියන් අතරින්  38 දෙනෙකු  කොරෝනා වෛරස් ආසාදිතයන්  ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය සරත් ප්‍රේමසිරි  වැඩි දුරටත් සදහන් කරයි.

Social Sharing
නවතම