අස්වැසුම ප්‍රතිලාභීන්ට වංචනික දුරකථන ඇමතුම්!

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචාසහගත ලෙස ලබාගැනීමේ අරමුණින් සිදුකරන දුරකථන ඇමතුම් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, දිවයිනේ ප්‍රදේශ රැසක විවිධ පුද්ගලයින් විවිධ දුරකථන අංක භාවිත කරමින් අස්වැසුම ප්‍රතිලාභීන් අමතා, තමන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් බව පවසමින් දුරකථන ඇමතුම් ලබාදෙන බවයි.

එම ඇමතුම්වලදී ප්‍රතිලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියක් සිදුකරන බව හෝ වෙනත් හේතු දක්වමින්, ඒ සඳහා මුදල් ගෙවන ලෙස ඉල්ලීම් කරන බවට මේ වන විට පැමිණිලි ලැබී ඇති බව මණ්ඩලය සඳහන් කරයි.

කෙසේ වෙතත්, එවැනි මුදල් ඉල්ලීම් කිසිවක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අනුදැනුමෙන් හෝ නිල ක්‍රියාවලියක කොටසක් ලෙස සිදු නොවන බව අවධාරණය කරන එම මණ්ඩලය, එවැනි දුරකථන ඇමතුමක් ලැබුණහොත් කිසිදු මුදලක් ගෙවීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

තවද, එවැනි වංචාසහගත ඇමතුම් පිළිබඳව වහාම අදාළ පොලිස් ස්ථානයට හෝ අදාළ පොලිස් බල ප්‍රදේශයේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසත්, මෙම වංචා පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙස වසම්භාර නිලධාරීන්ට ද උපදෙස් ලබාදී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර, දැනටමත් මෙවැනි ඇමතුම් ලැබී ඇති අස්වැසුම ප්‍රතිලාභීන්ට නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන ලෙස ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් මුදල් ඉල්ලන කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මුදල් ලබා නොදෙන ලෙසත්, සැකසහිත ඇමතුම් පිළිබඳව වහාම පොලිසියට දැනුම් දෙන ලෙසත්ය.

Social Sharing
නවතම පුවත්