
මෑතක දී හිටපු ගොවි නායකයකු වූ නාමල් කරුණාරත්න මහතා විසින් සහල් මිල තීරණය වීම සම්බන්ධයෙන් පළ කළ අදහසත්, ඊට ප්‍රතිචාර ලෙස ඇඩ්වොකාටා (Advocata) වැනි නව-ලිබරල් (Neo-liberal) නිදහස් වෙළඳපොළ ප්‍රතිපත්ති වෙනුවෙන් උද්දේශනය කරන ආයතන සහ පුද්ගලයන් දැක්වූ අදහසුත් මේ දිනවල දැඩි ශාස්ත්‍රීය හා දේශපාලනික කතාබහකට ලක් ව තිබේ. ඉල්ලුම සහ සැපයුම මත පදනම් වූ නිදහස් වෙළඳපොළ මූලධර්ම ඔස්සේ පමණක් සහල් මිල තීරණය විය යුතු බවට ගොඩනැඟෙන තර්කය න්‍යායාත්මකව (Theoretically) ආකර්ෂණීය වුව ද, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික යථාර්ථය, වෙළඳපොළ ව්‍යුහය සහ වර්තමාන ආණ්ඩුවේ දේශපාලන ජනවරම යන ප්‍රායෝගික සාධක මත තබා විශ්ලේෂණය කිරීමේ දී, එම තර්කයේ ඇති ඌනතා සහ දේශපාලනික පරස්පරතා මනාව පැහැදිලි වේ.
සහල්: හුදු වෙළඳ භාණ්ඩයක් ද? මිල අනම්‍ය (Price Inelastic) අවශ්‍යතාවක් ද?
ප්‍රථමයෙන් ම තේරුම් ගත යුතු ආර්ථික විද්‍යාත්මක කරුණ නම්, ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය වන බත් සඳහා ඇති ඉල්ලුම ‘මිල අනම්‍ය’ (Price Inelastic Demand) එකක් බව ය. එනම්, මිල ඉහළ ගිය පමණින් පාරිභෝගිකයන්ගේ ඉල්ලුම ඊට සමානුපාතිකව අඩු වන්නේ නැත. එය හුදු වෙළඳපොළ භාණ්ඩයක් (Commodity) පමණක් ම නො ව, ජනතාවගේ ජානවලට සහ සංස්කෘතියට බද්ධ වූ ජීවන රටාවේ ප්‍රධාන ම අංගයකි. නිදහස් වෙළඳපොළ න්‍යායවාදීන් කල්පනා කරන පරිදි, සහල් මිල ඉහළ යන විට පාන් හෝ වෙනත් ආදේශක වෙත ක්ෂණිකව මාරු වීමට මෙරට පාරිභෝගිකයාට නො හැකි ය. මෙවැනි අත්‍යවශ්‍ය භාණ්ඩයක් හුදෙක් වෙළඳපොළ උච්චාවචනයන්ට සහ ලාභ අරමුණු කර ගත් සැපයුම්කරුවන්ගේ අත්තනෝමතික තීරණවලට යටත් කිරීමෙන් සිදු වන්නේ පාරිභෝගිකයා දැඩි සූරාකෑමකට ලක් වීම ය.
යැපුම් කෘෂිකර්මාන්තය සහ ලාභය පෞද්ගලීකරණය කිරීමේ ඛේදවාචකය
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය කිසි සේත් ම පූර්ණ ධනවාදී හෝ වාණිජමය ආකෘතියක් (Commercial Farming) ගන්නේ නැත. ශ්‍රම බලකායෙන් 27%ක පමණ ප්‍රතිශතයක් සෘජුව ම කෘෂිකර්මාන්තයේ නියැළෙති. ඉන් අතිබහුතරය යැපුම් මට්ටමේ (Subsistence farming) ගොවීහු වෙති. සංඛ්‍යාලේඛනවලට අනුව, මෙරට වී ගොවීන්ගෙන් 70%කටත් වඩා වැඩි පිරිසකට ඇත්තේ හෙක්ටයාර 1කට (අක්කර 2.5) වඩා අඩු කුඩා ඉඩම් කට්ටි ය. මෙවැනි ඛණ්ඩනය වූ කුඩා ඉඩම් හිමියන් පිරිසක් ‘ධනවාදී වාණිජ ව්‍යවසායකයන්’ ලෙස සලකා නිදහස් වෙළඳපොළ තරගයකට ඇද දැමීම විද්‍යාත්මක මුළාවකි.
අනෙක් අතට, ලංකාවේ වී ගොවිතැන කිසි දිනෙක රාජ්‍ය මැදිහත්වීමෙන් තොරව ස්වාධීනව පැවති කර්මාන්තයක් නොවේ. සිංහල රජවරුන්ගේ හා යටත් විජිත පාලන කාලයෙන් පසුව, ඩී. එස්. සේනානායක යුගයේ ගොවි ජනපද ව්‍යාපාර හරහා නොමිලේ ඉඩම් ලබා දීම, දැවැන්ත වාරිමාර්ග ව්‍යාපාර හරහා ජලය සැපයීම සහ දශක ගණනාවක් පුරා රජය විසින් ලබා දෙන රුපියල් බිලියන ගණනක පොහොර සහනාධාර මත මෙම කර්මාන්තය යැපේ. එබැවින්, වී ගොවිතැන යනු ගොවියාගේ හුදු පෞද්ගලික ව්‍යවසායක් නො ව, සමස්ත ජාතියේ ම බදු මුදලින් නඩත්තු වන “පොදු නිෂ්පාදනයකි” (Public Good).
ආර්ථික විද්‍යාත්මකව බැලූ කල, නිෂ්පාදන පිරිවැය (පොහොර, ජලය, ඉඩම්) රජය හෙවත් මහජනතාව විසින් දරන (Socializing costs) කර්මාන්තයක, අවසන් ප්‍රතිඵලය සහ ලාභය පමණක් පෞද්ගලික වෙළඳපොළේ නීතිවලට යටත් කර කතිපයාධිකාරී (Oligopoly) මෝල් හිමියන්ට ලාභය පෞද්ගලීකරණය (Privatizing profits) කර ගැනීමට ඉඩ හැරීම කිසි සේත් ම යුක්ති සහගත නැත.
සටහන අජිත් පැරකුම් ජයසිංහ
