චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් ඇරඹී වසරකට පසු අධිකරණ අමාත්‍යවරයාගේ නිරීක්ෂණ චාරිකාව අතරතුර උණුසුම් විරෝධතා

 

යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධ කැණීම් සහ විමර්ශන කටයුතු ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ සිදුකරන ලෙස ඉල්ලමින් සංවිධානය කර තිබූ විරෝධතාවක් වටා උණුසුම් තත්ත්වයක් මතුව ඇති අතර, එම විරෝධතාවට එරෙහිව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම තත්ත්වය උද්ගත වූයේ ශ්‍රී ලංකාවේ මෙතෙක් හඳුනාගෙන ඇති විශාලතම සමූහ මිනීවළ ලෙස සැලකෙන චෙම්මනි සමූහ සුසාන භූමියේ කැණීම් කටයුතු ආරම්භ වී වසරක් සම්පූර්ණ වීමෙන් පසු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ජුනි 19 දා පැමිණි අවස්ථාවේදීය.

දැනට එම ස්ථානයෙන් මනුෂ්‍ය සිරුරු 387ක අවශේෂ හමුවී ඇති අතර, කැණීම් කටයුතු අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් 13 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමකට සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) නිලධාරීන් අට දෙනෙකුට චෙම්මනි ස්ථානයට පිවිසීම සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබිණි.

ඔවුන්ගේ සංචාරයට සමගාමීව, උතුරු හා නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගලයන්ගේ ඥාතීන්ගේ සංවිධාන විසින් “ජාත්‍යන්තර යුක්තිය” ඉල්ලා විරෝධතාවක් සංවිධානය කර තිබුණි. විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ චෙම්මනි කැණීම් හා විමර්ශන කටයුතු ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ සිදු කිරීමයි.

කෙසේ වෙතත්, යාපනය පොලිසිය විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලූ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය, අතුරුදහන් වූවන්ට යුක්තිය ඉල්ලා වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩ අරගලයක නිරත නියෝජිතයන් කිහිප දෙනෙකුට සහ ඔවුන් සමඟ එක්වන පිරිස්වලට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කළේය. එම නියෝගයට අනුව චෙම්මනි සුසාන භූමිය ඉදිරිපිට A9 මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට පලාලි පාර හන්දිය දක්වාත්, බස් නැවතුම්පොළ මංසන්ධිය හරහා යාපනය පොලිස් ස්ථානය වෙත යන ප්‍රධාන මාර්ගය ඔස්සේත් මාර්ග බාධක ඉදිකිරීම හෝ ගමනාගමනයට බාධා කිරීම තහනම් කර තිබුණි.

එසේ වුවද, වින්දිත පවුල් සහ සහායක පිරිස් මාර්ග දෙපස රැඳී සිටිමින් සිය විරෝධතාව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම සිදුවීම විශේෂ අවධානයට ලක්ව ඇත්තේ වධහිංසා වැළැක්වීම සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින අවස්ථාවක මෙම තහනම් නියෝගය ලබාගෙන තිබීම හේතුවෙනි.

කැණීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අදහස්

චෙම්මනි සමූහ සුසාන භූමියේ කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ කැණීම් කටයුතු සාර්ථකව ඉදිරියට යමින් පවතින බවයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට අවශ්‍ය සහාය ලබා නොදෙන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, කැණීම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අමාත්‍යාංශය මගින් ලබාදී ඇති බව සඳහන් කළේය.

තවද, කැණීම් කටයුතු වේගවත් කිරීම පිළිබඳ යාපනය මහේස්ත්‍රාත්වරයා සහ විශේෂඥ කණ්ඩායම් සමඟ සාකච්ඡා කළ බවත්, විමර්ශන කටයුතු නිසි ලෙස අවසන් කර සත්‍ය හා යුක්තිය හෙළිදරව් කිරීම රජයේ අපේක්ෂාව බවත් ඔහු ප්‍රකාශ කළේය.

විශේෂඥ කණ්ඩායම්ගේ සහභාගිත්වය

චෙම්මනි සමූහ සුසාන භූමියේ කැණීම් කටයුතු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් කුමාර සෝමදේවගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර, විශ්වවිද්‍යාල පුරාවිද්‍යා ශිෂ්‍යයන්, අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සහ අනෙකුත් තාක්ෂණික නිලධාරීන් ද ඒ සඳහා එක්ව සිටිති.

මෙම අවස්ථාවට යාපනය මහේස්ත්‍රාත්වරයා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලන්කුමාරන් සහ රජීවන් ජෙයචන්ද්‍රමූර්ති, හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද ඇතුළු නිලධාරීන් සහ නීතිඥවරුන් පිරිසක් ද සහභාගි වූහ.

ඊට එරෙහිව යාපනය පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අතුරුදහන් වුවන්ට යුක්තිය සොයන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ අරගලයට නායකත්වය දෙන කනගරන්ජනී යෝගරාසා, සිවකුමාර් ඉලන්කෝදෙයි හා සිවානන්දන් ජෙනීටා ටත්, තවතිරු වේලන් හින්දු පුජකතුමාටත්, ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාටත්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහලේකම් සෙල්වරාසා ගජෙන්ද්‍රන්ද්‍රන්ටත්, ඔවුන් සමග පැමිනෙන්නන්ටත් එරෙහිව තහනම් නියෝගයක් පනවා තිබේ.

චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශන ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය, අතුරුදහන් වූවන්ගේ ගැටලුව සහ යුද්ධ සමයේ සිදුවීම් සම්බන්ධ සත්‍ය අනාවරණය කිරීමේ ක්‍රියාවලියේ වැදගත් පියවරක් ලෙස සැලකෙන අතර, එහි ඉදිරි කටයුතු පිළිබඳ දේශීය සහ ජාත්‍යන්තර අවධානය තවදුරටත් යොමුවී පවතී.

Social Sharing
නවතම පුවත්