එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථීර සාමාජිකත්වය ලබා ගැනීමට ඉන්දියාවට ස්ලෝවැකියාවේ සහය!

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථීර සාමාජිකත්වය සඳහා ඉන්දියාව දරන උත්සාහයට සහය පළ කරන බව ස්ලෝවැකියාව ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ස්ලෝවැකියා සංචාරය අතරතුර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී එරට අගමැති රොබට් ෆිකෝ විසින් එම ස්ථාවරය ප්‍රකාශ කළ බවයි.

එහිදී අගමැති රොබට් ෆිකෝ සඳහන් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආරක්ෂක කවුන්සිලය ඇතුළු බහුපාර්ශ්වික ආයතන වත්මන් ගෝලීය යථාර්ථයන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කළ යුතු බවයි. එමෙන්ම, වඩාත් පුළුල් නියෝජනයක් සහිත ව්‍යුහයක් ගොඩනැගීමේ අවශ්‍යතාව ද මතු වී ඇති බව ඔහු අවධාරණය කර ඇත.

සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වත්මන් ආරක්ෂක කවුන්සිලයේ ව්‍යුහය යල්පැන ගිය එකක් බවත්, එය වර්තමාන ගෝලීය භූදේශපාලනික යථාර්ථයන් ප්‍රමාණවත් ලෙස නිරූපණය නොකරන බවත් අගමැතිවරුන් දෙදෙනාගේම අදහස වී තිබේ.

ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ඉන්දියාව දීර්ඝ කාලයක සිට ප්‍රචාරක සහ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයක නිරත වන අතර, එම ඉල්ලීමට බ්‍රසීලය, ජර්මනිය සහ ජපානය ඇතුළු G4 කණ්ඩායම මෙන්ම යුරෝපීය රටවල් රැසකද සහය ලැබී ඇති බව වාර්තා වේ.

මෙම නව සහයෝගය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් පවතින සාකච්ඡාවන්ට තවත් ශක්තියක් එක්කරනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Social Sharing
පුවත් විදෙස්