
පිලිප් දිසානායක, විධායක අධ්යක්ෂ, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
ළමා අපයෝජන සිදුවීම් හුදෙක් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අපරාධ ලෙස පමණක් සැලකිය නොහැකිය. එය රාජ්‍යය, අධ්‍යාපන පද්ධතිය, ආගමික ආයතන සහ ප්‍රජාවන් එක්ව ගොඩනැගිය යුතු ආරක්ෂණ පද්ධතියේ බරපතළ දුර්වලතාවක් නිරූපණය කරයි. ශ්‍රී ලංකාව ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට (UNCRC) අත්සන් තබා ඇති රාජ්‍යයක් වශයෙන්, ළමයින් සියලු ආකාරයේ හිංසන, අපයෝජන සහ නොසලකා හැරීම්වලින් ආරක්ෂා කිරීමේ වගකීම භාර ගෙන තිබේ. එහෙත් මෑතකාලීනව වාර්තා වන සිදුවීම් සහ විමර්ශන ප්‍රමාද සලකා බලන විට එම වගකීම ප්‍රායෝගිකව ඉටු වී ඇති බවක් නොපෙනේ.
ළමයකු අපයෝජනයට ලක් වූ විට සිදුවන හානිය තාවකාලික නොවේ. එය ඔහුගේ හෝ ඇයගේ මානසික සෞඛ්‍යයට, අධ්‍යාපන කටයුතුවලට සහ අනාගත ජීවිතයට දීර්ඝකාලීන බලපෑම් ඇති කරයි. එබැවින් ළමා අපයෝජන වැළැක්වීම හුදෙක් සමාජ සුබසාධන කාරණයක් පමණක් නොව, රටේ මානව සංවර්ධනය සහ පැවැත්ම සමඟ සෘජුව බැඳී පවතින්නකි.
පූජනීය ස්ථාන සහ ළමයින්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ අර්බුදය
ලෝකයම පිළිගන්නා පූජනීය බෞද්ධ ස්ථාන අටක් අධීක්ෂණය කරන 71 හැවිරිදි අටමස්ථානාධිපති හිමිනමකට 15 හැවිරිදි දැරියක් වසර ගණනාවක් තිස්සේ ලිංගික අපයෝජනය කළ බවට එල්ල වී ඇති බරපතළ චෝදනාවත් සමග ශ්‍රී ලංකාවේ ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් සහ කනස්සල්ලක් මේ වන විට නිර්මාණය වී තිබේ.
ළමයින් ශික්ෂණය කිරීම සඳහා ස්ථාපිත මෙවැනි පූජනීය ආගමික ස්ථානවල ඉහළම නායකත්වයෙන් මෙවැනි හැසිරීම් වාර්තා වේ නම්, එය සමස්ත ළමා පරපුරේම ආරක්ෂාව පිළිබඳව සමාජය තුළ බලවත් බියක් ජනිත කරවයි. OCCRP (සංවිධානාත්මක අපරාධ සහ දූෂණ වාර්තා කිරීමේ ව්‍යාපෘතිය) වාර්තාවකට අනුව:
- ශ්‍රී ලාංකාවේ පසුගිය වසර තුන තුළ පූජ්‍ය පක්ෂයේ 300කට ආසන්න සංඛ්‍යාවකට ළමා අපයෝජන චෝදනා එල්ල වී ඇත.
- ඉන් 30කට ආසන්න සංඛ්‍යාවකට එරෙහිව පමණක් මේ වන විට චෝදනා ගොනු කර තිබේ (ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ තොරතුරු මත).
ඇතැම් ආගමික ස්ථාන මෙන්ම ඇතැම් පාසල් ද ළමයින් විවිධ අරමුණු සඳහා ගොදුරු කර ගන්නා ස්ථාන බවට පරිවර්තනය වෙමින් තිබෙන බව මෙම ඛේදනීය සිදුවීම් හරහා පිළිබිඹු වේ.
නීතියේ ආධිපත්‍යය: තරාතිරම නො බලා නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව
ශ්‍රී ලංකාව තුළ ළමයින් ආරක්ෂා කිරීම සඳහා ප්‍රබල නීතිමය ප්‍රතිපාදන පවතී. විශේෂයෙන්ම ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය (365B වගන්තිය යටතේ බරපතළ ලිංගික අපයෝජන සහ 308A යටතේ ළමයින්ට කෲරත්වය දැක්වීම) සහ 1939 අංක 48 දරන ළමා හා යෞවන ආඥාපනත හරහා ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කර ඇත.
කෙසේ වෙතත්, පවතින ප්‍රධානතම ගැටලුව නීති නොමැතිකම නොව, ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීමයි. අපරාධකරුවකුගේ සමාජ තරාතිරම, දේශපාලන බලය, ධනය හෝ ඔවුහු නියෝජනය කරන ආගමික ආයතනය කුමක් වුවත්, නීතිය සැමට එක සමානව සහ තදින්ම ක්‍රියාත්මක විය යුතුය. ආගමික හෝ වෙනත් කවර හෝ ආවරණයක් අපරාධකරුවන් ආරක්ෂා කරන පලිහක් බවට පත් වීමට රාජ්‍යය විසින් ඉඩ නොතැබිය යුතුය.
සමාජ කතිකාවත සහ ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය
මෙම අඳුරු සිදුවීම් මධ්‍යයේ වුව ද, අපරාධකරුවන්ගේ තරාතිරම නො බලා ඔවුන්ට එරෙහිව සමාජය තුළින් මතු වී ඇති ප්‍රබල හඬ සහ කතිකාවත අතිශයින්ම පැසසුමට ලක් කළ යුතුය. අතීතයේදී ආගමික හෝ ප්‍රභූ බලපෑම් හමුවේ යටපත් කෙරුණු හෝ කතා කිරීමට බිය වූ මාතෘකා අද වන විට සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ නිර්භීතව ප්‍රශ්න කෙරෙමින් පවතී.
මෙම පිබිදීම ශ්‍රී ලංකාව තුළ ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා උත්ප්‍රේරකයක් කර ගත හැකිය. සමාජයේ මෙම විමසිලිමත්භාවය නීති සම්පාදකයන්ට සහ බලධාරීන්ට පීඩනයක් එල්ල කරන අතර, එය විනිවිදභාවයෙන් යුත් කඩිනම් නීතිමය ක්‍රියාදාමයකට මාවත විවර කරනු ඇත.
පද්ධතිමය බිඳවැටීම: සංඛ්‍යාලේඛන සහ මූලික හේතු
ළමා අපයෝජකයන්ට අවශ්‍ය පරිසරය බොහෝ විට නිර්මාණය වන්නේ පවුල් මුහුණ දෙන උග්‍ර දරිද්‍රතාව, නිසි අධ්‍යාපනයක් නොමැතිකම සහ සමාජ අසමානතාව මතය. ජාතික සහ ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන මගින් ශ්‍රී ලංකාවේ ළමයින් මුහුණ දෙන අවදානමේ තරම පැහැදිලි කරයි:
ළමා හිංසන පැමිණිලි (ජාතික ළමා ආරක්ෂක අධිකාරිය – NCPA):
- 2025 වසරේදී: ළමා අපයෝජන පැමිණිලි 10,455ක් වාර්තා වී ඇත (දිනකට පැමිණිලි 30කට ආසන්න ප්‍රමාණයක්).
- විමර්ශන ප්‍රමාදය: වසරකට ලැබෙන දසදහසකට වැඩි පැමිණිලිවලින් විමර්ශනය කිරීමට හැකි වී ඇත්තේ අඩකට ආසන්න සංඛ්‍යාවක් පමණි. මේ වන විට පැමිණිලි 40,000කට අධික ප්‍රමාණයක විමර්ශන කටයුතු අවසන් කර නොමැත.
ආර්ථික සහ සෞඛ්‍ය අර්බුදය:
- දරිද්‍රතාව: ලෝක බැංකු වාර්තාවලට අනුව ආර්ථික අර්බුදය සහ ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික දරිද්‍රතා අනුපාතය 9% දක්වා ඉහළ ගොස් ඇති අතර, ජනතාවගෙන් හතරෙන් එකක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වෙති.
- මන්දපෝෂණය සහ දිළිඳුකම (UNICEF): අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් 12%ක් මන්දපෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින අතර, අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් 2%ක් බහුවිධ දිළිඳුභාවයෙන් පෙළෙති.
අධ්‍යාපනික අසමානතාව:
- ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු සමීක්ෂණයකට අනුව, පාසල් යා යුතු වයසේ (අවුරුදු 5 – 17 අතර) ළමයින් 51,249ක් කිසි දා පාසල් ගොස් නොමැති බවට අනාවරණය වී තිබේ.
නාගරික ප්‍රදේශවල ළමයින්ට සියලු පහසුකම් ලැබෙන අතරතුර, ග්‍රාමීය සහ වතුකර ළමයින්ට මූලික අධ්‍යාපනය පවා අහිමි වීම, දිළිඳුකම නැවත නිෂ්පාදනය කරන චක්‍රයක් නිර්මාණය කර ඇත. දරිද්‍රතාව නිසාම ළමයින් අධ්‍යාපනයෙන් ඈත් වන විට, ඔවුහු අපයෝජකයන්ගේ පහසු ගොදුරු බවට පත් වෙති.
අනාගතය සුරක්ෂිත කිරීම
ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ සංවාදයක් ආරම්භ විය යුත්තේ අපරාධයක් සිදු වූ පසුව නොව, එවැනි අපරාධයක් සිදු වීම වළක්වා ගැනීමට අවශ්‍ය සමාජ, ආර්ථික සහ නීතිමය පරිසරය කල්තියා නිර්මාණය කිරීමෙනි. අද ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති සැබෑ අභියෝගය වන්නේ ළමයින් ආරක්ෂා කරන, ඔවුන්ට සමාන අවස්ථා ලබා දෙන පද්ධතියක් ගොඩනැගීම ද, එසේ නැතිනම් ළමයින් අසාර්ථක පද්ධතියක ගොදුරු බවට පත් වන සමාජයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාම ද යන්න තීරණය කිරීමයි.
අනාගත පරපුර සුරක්ෂිත කිරීම යනු හුදෙක් ළමයින් පිළිබඳ අනුකම්පාවක් නොව, රටේ ප්රජාතන්ත්රවාදය, ආර්ථිකය සහ මානව සංවර්ධනය ආරක්ෂා කිරීම සඳහා කළ යුතු අත්‍යවශ්‍ය ආයෝජනයකි. නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වන, ළමයින්ට සුරක්ෂිත, සෞඛ්‍යසම්පන්න සහ ගෞරවාන්විත ළමා වියක් සහතික කළ හැකි රටකට පමණක් තිරසර අනාගතයක් ගොඩනැගිය හැකිය.
