
රජයේ නිල අනුමැතිය හිමි නොවන විවිධ ආයතන හා බාහිර පාර්ශවයන් විසින් සංවිධානය කරන කිසිදු වැඩසටහනක් පාසල් පද්ධතිය තුළ සංවිධානය කිරීමට කිසිසේත් අවසර ලබා නොදිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරයි.
ඇය මේ බව සඳහන් කළේ ඊයේ දින (17) උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී විශේෂයෙන් ඇය පවසා සිටියේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සඳහා රජයක් වශයෙන් අතිවිශාල කැපකිරීමක් සිදුකරන බැවින් දරුවන්ට හොඳම දේ ලබාදිය යුතුයි යන හැඟීම මත පදනම්ව බලධාරීන් තීන්දු තීරණ ගත යුතු බවයි.
තවද මෙම සාකච්ඡාවේ දී දිට්වා සුළි කුණාටුව හමුවේ හානියට ලක්වූ පාසල් ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා කිරීම සිදුව ඇත.
අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීමේ දී ඇය පවසා ඇත්තේ මෙරට ඉතිහාසයේ විශාලතම ගුරු බඳවා ගැනීම මෙම වසරේ සිදු කරන බවයි. ඒ අනුව උපාධිධාරී ගුරුවරුන් 23,000ක්, විද්‍යාපීඨ පුහුණු ගුරුවරුන් 6,100ක් සහ අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඇතුළුව 30,000කට ආසන්න පිරිසක් මේ වසරේදී රාජ්‍ය සේවයට එක් කර ගැනීමට සැලසුම් කර ඇති බව ඇය සඳහන් කර තිබේ.
මීට අමතරව අධ්‍යාපන පරිපාලන හා ගුරු උපදේශක පුරප්පාඩු පිරවීමට මෙන්ම ගුරු තුලනය හා දත්ත කළමනාකරණ ගැටලු විසඳීමටද පියවර ගන්නා බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
