විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට “LankaKonect” අලුත් app එකක්!

 

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට තම රැකියා ස්ථානවලදී මුහුණදෙන ගැටලු සහ පැමිණිලි ඉතා පහසුවෙන් අදාළ බලධාරීන් වෙත යොමු කිරීම සඳහා LankaKonect නමින් නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී තිබේ.

මෙම පැමිණිලි කළමනාකරණ යෙදවුම (Complaint Management Application – CMA) විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවති උත්සවයකදී ජනගත කරන ලදී. ජුනි 16 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර ගෘහස්ථ සේවක දිනය (International Domestic Workers Day) නිමිත්තෙන් මෙම යෙදවුම හඳුන්වාදීම විශේෂත්වයක් විය.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් භාවිත කළ හැකි මෙම යෙදවුම මඟින් විදේශගත ශ්‍රමිකයින්ට තම සේවා ස්ථානයේ ඇතිවන ගැටලු හෝ අසාධාරණතා සම්බන්ධයෙන් සෘජුවම විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත මාර්ගගත පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

එසේම අධ්‍යාපනය, රැකියා හෝ පදිංචිය සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙම යෙදවුම ඔස්සේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙතද තම ගැටලු සහ ඉල්ලීම් යොමු කිරීමේ හැකියාව පවතී.

පැමිණිලි ලිඛිත ආකාරයෙන් පමණක් නොව, හඬ පට (Voice Clips) සහ වීඩියෝ දර්ශන (Video Clips) සමඟද ඉදිරිපත් කළ හැකි ලෙස මෙම යෙදවුම සංවර්ධනය කර ඇත. තවද, ලොව ඕනෑම රටක සිට මෙම සේවාව භාවිත කළ හැකි අතර, ඉදිරිපත් කළ පැමිණිල්ලක ප්‍රගතිය සහ වත්මන් තත්ත්වයද යෙදවුම හරහා නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූල්‍ය දායකත්වයෙන් SLT-MOBITEL ආයතනය විසින් මෙම යෙදවුම සංවර්ධනය කර ඇත.

LankaKonect යෙදවුම අද සිට Google Play Store සහ Apple App Store හරහා නොමිලේ භාගත කරගත හැකි බව දැනුම් දී තිබේ.

Social Sharing
නවතම පුවත්