ඇමරිකානු හා ඉරාන යුධ ගැටුම් අවසන් කරමින් එළඹෙන 19 වන දා සාම ගිවිසුම්!

දින 108ක කාලයක් පුරා පැවති බලශක්ති අර්බුදය සහ මැදපෙරදිග යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් ඇමෙරිකාව සහ ඉරානය අතර මූලික රාමුගත සාම ගිවිසුමකට ලබන සිකුරාදා (19) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අත්සන් තැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ගිවිසුමේ ප්‍රධාන පියවරක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය කිසිදු බද්දකින් තොරව යළි විවෘත කිරීමට නියමිත බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ඔහු සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ බොරතෙල් ප්‍රවාහනය යළි නිදහසේ සිදුකිරීමට අවස්ථාව සලසා දෙන බවයි.

“ඉරාන ඉස්ලාමීය ජනරජය සමඟ ඇතිකරගත් ගිවිසුම දැන් සම්පූර්ණයි” යනුවෙන් සඳහන් කර ඇති ට්‍රම්ප්, ඉරාන වරායන් වෙත පනවා තිබූ ඇමෙරිකානු නාවික අවහිරතා ඉවත් කිරීමට ද උපදෙස් ලබාදී ඇති බව ප්‍රකාශ කර තිබේ.

මෙම ගිවිසුම මඟින් මැදපෙරදිග කලාපයට සාමය හා ස්ථාවරත්වය උදාවනු ඇති බවත්, හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීමත් සමඟ ලෝක වෙළෙඳපොළට බොරතෙල් සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඇමෙරිකාව සහ ඉරානය අතර එකඟතාවයක් ඇතිවූ බව මුල්වරට ප්‍රකාශ කර ඇත්තේ පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් විසිනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සාම මැදිහත්වීම් සඳහා මුල සිටම දායක වූ ඔහුගේ ප්‍රකාශයෙන් මොහොතකට පසු ට්‍රම්ප්ගේ නිවේදනය නිකුත් වූ බවයි.

මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉරාන නියෝජ්‍ය විදේශ ඇමති කාසිම් ගරිබාබදී විසින්ද තහවුරු කර තිබේ. ඉරාන රාජ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ සාම ගිවිසුමට නිල වශයෙන් අත්සන් තැබීම ජිනීවාහිදී සිදුවන බවයි.

ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලෙබනනය ඇතුළු සියලු යුද පෙරමුණු සම්බන්ධ හමුදා මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කර ඇති බවයි.

වාර්තා වන ආකාරයට අමෙරිකාව සහ ඉරානය අතර ඇතිකරගත් මූලික අවබෝධතා ගිවිසුම කරුණු 14කින් සමන්විත වුවද, එහි සම්පූර්ණ තොරතුරු මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

ගිවිසුම යටතේ ස්ථිර සාමයක් ගොඩනැගීම සඳහා දින 60ක කාලසීමාවක් නියම කර ඇති අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ යුරේනියම් තොග සම්බන්ධ ගැටලු එම කාලය තුළ විසඳා ගැනීමට දෙපාර්ශ්වය එකඟ විය යුතු බව වාර්තා වේ.

ඉරානයේ ප්‍රධාන ඉල්ලීම් අතර ආර්ථික සම්බාධක ඉවත් කිරීම, අත්හිටුවා ඇති වත්කම් නිදහස් කර ගැනීම සහ නාවික අවහිරතා ඉවත් කිරීම ඇතුළත් වන අතර, ඒ සඳහා දින 30ක කාලසීමාවක්ද ගිවිසුමට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ ස්ථිර සාමයක් ඇති කිරීම සඳහා පවතින ප්‍රධාන දේශපාලන සහ ආරක්ෂක මතභේද විසඳා ගැනීම තවදුරටත් අභියෝගයක් වනු ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

 

Social Sharing
නවතම පුවත්