මහබැංකුවේ බැංකු අධීක්ෂණ හා නියාමන යාන්ත්‍රණයන් ශක්තිමත් කරන ලෙස IMF ඉල්ලයි.

 

අන්තර් ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් මහබැංකුවේ බැංකු අධීක්ෂණ හා නියාමන යාන්ත්‍රණයන් ශක්තිමත් කරන ලෙස ඉල්ලා ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහන් කරයි. ඒ ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ යැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචාව පිළිබඳ කරුණු සාකච්ඡා කෙරු අවස්ථාවේ දීය.

ඒ අනුව පසුගිය දා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු උසස් නිලධාරීන් මෙම NDB බැංකු වංචාව පිළිබඳ කරුණු සාකච්ඡාවට ගැනුණු අතර එහි දී අදහස් දැක් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් මහබැංකුව ගෙන ඇති පියවරවල ප්‍රගතිය පිළිබඳව ද විමසා සිටියේය. එමෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සිය පස්වැනි සහ හයවැනි සමාලෝචන කාර්ය මණ්ඩල වාර්තාව මඟින්ද, මහ බැංකුවේ අධීක්ෂණ සහ නියාමන භූමිකාවන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේ මහබැංකු නිලධාරීන් ඊට පිළිතුරු දෙමින් සඳහන් කර ඇත්තේ මෙම වංචනික ගනුදෙනුවලට මූලික වූ හේතු සහ ඒවා සිදුකර ඇති ආකාරය හඳුනාගැනීම සඳහා මේ වන විට වෝහාරික විගණනයක් ආරම්භ කර ඇති බවත් එම විගණනය  මහ බැංකුව සහ NDB බැංකුව එක්ව සිදුකරන බව සඳහන් වී ඇත.

එහිදී කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එහි සාමාජික රවී කරුණානායක විමසා ඇත්තේ චෝදනාවට ලක්ව ඇති NDB බැංකුවම මෙම වෝහාරික විමර්ශනයේ විෂය පථය තීරණය කිරීමට සම්බන්ධ කරගත්තේ කෙසේද යන්නයි. එම අවස්ථාවේ පිළිතුරු දුන් නිලධාරීන් කියාසිටියේ, විමර්ශන විෂය පථයේ දළ කෙටුම්පතක් සකස් කිරීමට පමණක් NDB බැංකුවට පැවරුණු බවත්, මහබැංකුවේ දායකත්වය සහිතව එය නිල වශයෙන් සකස් කළේ මහබැංකුව විසින්ම බවත්ය.

තවද නිලධාරී මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  වසර 10ක කාලයක් තිස්සේ සිදුවූ ගනුදෙනු මෙහි දී විමර්ශනයට ලක්වන බවත්, එහි අතුරු වාර්තාවක් සතියකින් සහ අවසන් වාර්තාව ජූලි 18 වැනිදා ඉදිරිපත් කරන බවත් ය.

 

Social Sharing
නවතම පුවත්