
නැගෙනහිර පළාත් හිටපු මහ ඇමැතිවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ මෙහෙයවීමෙන් සිදුකර ඇතැයි කියන මිනිස් ඝාතන පහක් සම්බන්ධයෙන් අනාවරණය වී ඇති කරුණු අද (15) මඩකළපුව අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සූදානම් වී සිටී.
පොලිස් ආරංචි මාර්ග අනුව, මෙම ඝාතන සියල්ලම මඩකළපුව ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇති අතර, පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීම, කප්පම් මුදල් ලබා නොදීම හේතුවෙන් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම ඇතුළු අපරාධ කිහිපයක් ඒ අතරට ඇතුළත් වේ.
තවද, මෙම සිද්ධීන් අතර තමන්ගේම සංවිධානයේ සාමාජිකයන් ඝාතනය කළ බවට සැක කෙරෙන සිද්ධියක් ද පවතින බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කර තිබේ.
මේ අතර, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා 2006 දෙසැම්බර් 15 වැනිදා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද පිල්ලෙයාන් සහ ඔහුට සම්බන්ධ පිරිසකට එරෙහිව ගල්කිස්ස අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇති බව CID ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම, පිල්ලෙයාන්ගේ සමීපතම සහායකයෙකු ලෙස සැලකෙන, නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ ටී.එම්.වී.පී. පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වූ කේ. පුෂ්පකුමාර් නොහොත් “ඉනියභාරතී”ට එරෙහිව ද මිනිස් ඝාතන හතක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වේ.
අමතරව, තමන්ට එරෙහිව පවතින නඩු කටයුතුවලින් ගැලවීමේ අරමුණින් 2022 වසරේ අක්කරපත්තුව අධිකරණ ලේඛනාගාරයට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද ඔහු අත්අඩංගුවට ගෙන තිබූ බව වාර්තා වේ.
මෙම සියලු සිද්ධීන් සම්බන්ධයෙන් CID විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිතය.
