
විනිසුරු විශ්‍රාම වයස ස්ථිරවම දික්කරන බව කියයි
ජුනි 1 වැනිදා සවස ජනාධිපති අනුර කුමාර දිසානායක, අධිකරණ නිලධාරින්ගේ සංගමය හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය හමු වූ අවස්ථාවේදී, අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ස්ථිර වශයෙන්ම දිගු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපතිවරයා මේ බව කියා ඇත්තේ අධිකරණ නිලධාරින්ගේ සංගමය හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සමග නිල රැස්වීම ආරම්භ කිරීමට පෙරය. ඒ වන විට, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන රැස්වීම සඳහා පැමිණ නොතිබුණු බවද වැඩිදුරටත් වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ අදහස සම්බන්ධයෙන් අධිකරණ නිලධාරින්ගේ සංගමයේ හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ නිලධාරින් විශේෂ ප්‍රතිචාරයක් දක්වා නැති බවද අපේ ආරංචි මාර්ග කියයි.
අධිකරණ නිලධාරින්ගේ සංගමය හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය ජනාධිපතිවරයා හමවුණේ සිය වැටුප් හා දීමනා ඇතුළු වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ජනාධිපතිවරයා සිය අදහස පළකර ඇත්තේ එම රැස්වීමට පෙරය.
ජනාධිපතිවරයා එහිදී තවදුරටත් පවසා ඇත්තේ සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දිගු කිරීමට බලාපොරොත්තු වන බවයි. එහෙත් එහි මූලික අරමුණ, වත්මන් අගවිනිසුරුවරයා තවත් වසර දෙකක් ධුරයේ තබාගැනීමට ජනාධිපතිවරයා හා ආණ්ඩුවට තිබෙන වුවමනාවයි. මෙවැනි සේවා දීර්ඝයක් නොලැබුණොත්, වර්තමාන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, එළඹෙන දෙසැම්බරයේදී විශ්‍රාම ගැනීමට නියමිතය.
තමන්ට අවශ්‍ය විනිසුරුවරුන් තමන් කැමති කාලයක් ධුරයේ තබාගැනීමට ජනාධිපතිවරයා හා ආණ්ඩුව දරන උත්සාහයට මේ වන විට නීති හා අධිකරණ ක්ෂේත්රයේ දැඩි විවේචනයක් හා විරෝධයක් එල්ල වී තිබේ. මෙය අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් නිසැකවම වැරදි පූර්වාදර්ශයක් වන බව නීති ක්ෂේත්රයේ මෙන්ම අධිකරණ ක්ෂේත්රයේද ප්රවීණයන්ගේ මතයයි.
ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් ඇතුළු නීති වෘත්තිකයන්ගේ වෘත්තීය සංවිධානය වන ශ්‍රී ලංකා නිතිඥ සංගමයද, ජනාධිපතිවරයාගේ මෙම උත්සාහයට සිය විරෝධය පළකර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65ක් වන අතර, අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ එම වයස අවුරුදු 63කි. මේ සීමාව දිගු කිරීමට නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු වෙයි.
සටහන – කේ. ඩබ්ලිව් ජනරංජන
