
පසුගිය නොවැම්බර් මස අගභාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිත්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් මහනුවර දිසා අධිකරණ සංකීර්ණයට දැඩි හානි සිදු වූ අතර, එහි පහත මාලයේ පිහිටා ඇති දිසා අධිකරණ ලේඛනාගාරය සම්පූර්ණයෙන්ම ගංවතුරට යට විය. මේ හේතුවෙන් එහි තැන්පත් කර තිබූ විභාග වෙමින් පවතින සහ පැරණි නඩු වලට අදාළ ලේඛන 170,000කට අධික ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබේ. මින් සක්‍රීය නඩු වාර්තා අඩංගු නඩු පොත් 15,000ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වීමේ සෘජු තර්ජනයකට ලක්ව ඇත.
අධිකරණ පද්ධතිය අඩාල වීමේ මෙම බරපතල අවදානම හමුවේ, අධිකරණ අමාත්‍යාංශය සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව හානියට පත් නඩු වාර්තා සහ ලේඛන කඩිනමින් පිළිසකර කිරීමේ විශේෂ ඒකාබද්ධ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරනු ලැබීය. ශ්‍රී ලංකා රජය විසින් කරන ලද හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජපාන රජය විසින් පසුගිය මාර්තු මාසයේදී මෙරටට විශේෂඥ කණ්ඩායමක් එවීමට කටයුතු කළේය.
මෙම විශේෂඥ කණ්ඩායමට නාරා හි සංස්කෘතික උරුමයන් පිළිබඳ ආපදා අවදානම් කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී යෝසෙයි කොසුමා (Yosei Kozuma) සහ ඔසාකා මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මසකාසු ෆුරුටා (Masakazu Furuta) ඇතුළත් වූහ.
2011 වසරේ ජපානයේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් ජලයෙන් යට වූ ඓතිහාසික කඩදාසි ලේඛන ප්‍රතිසංස්කරණය කිරීමේ විශාල අත්දැකීම් ඇති කොසුමා මහතා, විශේෂ අවශෝෂක කඩදාසි සහ උපකරණ භාවිත කරමින් ලේඛන වේලීමේ ක්‍රියාවලිය 90%කින් වේගවත් කිරීමට දේශීය කාර්ය මණ්ඩලයට පුහුණුව ලබා දුන්නේය. සිදු කළ මෙහෙය පිළිබඳව අදහස් දක්වමින් යෝසෙයි කොසුමා මහතා ප්‍රකාශ කළේ, “ජපානයේ නිතර සිදුවන ගංවතුර හානි සම්බන්ධයෙන් මට ඇති අත්දැකීම් මෙහිදී බෙහෙවින් උපකාරී වුණා” යනුවෙනි.
එමෙන්ම මහාචාර්ය ෆුරුටා විසින් විකිරණ වන්ධ්‍යාකරණ (radiation sterilization) තාක්ෂණය හඳුන්වා දෙමින්, තෙතමනය සහිත ලේඛනවල දිලීර හා අච්චු (molds) වර්ධනය වීම වැළැක්වීමට පියවර ගන්නා ලදී. මෙය ලේඛන ආරක්ෂා කර ගැනීමට මෙන්ම එහි සේවය කරන සේවකයින්ගේ ශ්වසන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට ද බෙහෙවින් ඉවහල් විය.
නවීන තාක්ෂණය භාවිත කළ ද, තවමත් දැඩි අවදානමක පවතින නඩු පොත් සහ ලේඛන 15,000ක් පමණ පිළිසකර කිරීමට ඉතිරිව ඇත. දැනට සේවකයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිනපතා සේවයේ නිරත වන අතර, මෙම සමස්ත ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් කිරීමට තවත් මාස 10ක පමණ කාලයක් ගතවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මේ වන විට ජපානය බලා ගොස් ඇති විශේෂඥ කොසුමා මහතා, අවශ්‍ය අතිරේක උපකරණ සහ ද්‍රව්‍ය ද රැගෙන ඉදිරියේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මහනුවර දිසා අධිකරණයට අමතරව මහියංගනය, නිට්ටඹුව සහ වැලිමඩ යන ප්‍රාදේශීය අධිකරණ ගණනාවකට ද මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් හානි සිදු විය.
දිත්වා සුළි කුණාටුවෙන් මිලියන 2.2කට අධික ජනතාවක් පීඩාවට පත් වූ අතර 820කට අධික පිරිසක් මියයෑම හෝ අතුරුදහන් වීම සිදු විය.
(Nippon.com ඇසුරෙනි)
