Tuesday, August 9, 2022

නිහඬබවේ අනුකූලත්වය: ඇමරිකාවේ ෆ්ලොයිඩ් සහ අලුත්ගම තාරික්

මනුෂ්‍යත්වයට නිගා දෙමින්, තිරශ්චීන ම්ලේච්ඡත්වය සහ කෲරත්වය ලොවට ප්‍රදර්ශනය කෙරෙන සිදුවීම් දෙකක තොරතුරු ඉකුත් සතියේ අන්තර්ජාලයට එක්ව තිබුණේ වීඩියෝ දර්ශනද සමගිනි. සිදුවීම් දෙකම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් දෙකක, නීතිය සහ සාමය ආරක්ෂා කිරීම භාරව සිටින පොලිසියට සම්බන්ධය. ‘ඇමරිකාවේ මිනිඇපලිස්’ පොලිස්ය. ලංකාවේ ‘ශ්‍රී ලංකා පොලිස්’ ය. ම්ලේච්ඡත්වයේ ප්‍රකාශකයා පොලිසිය වන විට වින්දිතයා වර්ගවාදයේ සහ අන්තවාදයේ ගොදුරු බවට පත්ව සිටින බෙලහීන පුරවැසියන්ය.

ඇමරිකා එක්සත් ජනපදයේ මිනසෝටාහි මහා මාර්ගයක් අයිනේ නවතා ඇති ‘මිනිඇපලිස්’ පොලිස් ජීප් රථයකි. එහි පසුපස සිටින පොලිස් නිලධාරින් දෙදෙනෙකි. ජීප් රථය යටින් පිටතට හිස පොවාගෙන බිම වැටී සිටින කාලවර්ණ මිනිසෙකි. පොලිස් නිලධාරියෙක් මුළු සිරුරේම බර යොදා සිය දණහිස ඒ මිනිසාගේ ගෙල මත තබා පොළොවට තද කරගෙන සිටී. අනෙක් නිලධාරියා සමීපයේ ගැවසෙමින් සගයාගේ ක්‍රියාව නිරීක්ෂණය කරමින් සිටී. වැටී සිටින මිනිසා දැඩි අපහසුවෙන් කියයි. එය ආයාචනයකි.

“ආක් ආක් මට හුස්ම ගන්න බෑ. මට වතුර ටිකක් දෙන්න…”
“ආහ් ආහ් ඕඕග් කරුණාකරලා, කරුණාකරලා සර්…”

නිලධාරියාගේ ප්‍රතිචාරය මිනිසාගේ ගෙල මත ඇති සිය දණහිස තව තවත් පහළට තද කිරීමයි.. මිනිසා අවට සිටින අයගෙන් උදව් ඉල්ලයි. බලා සිටින අය පොලිසියට විරෝධය පළ කරති. උගුර යටින් නැඟෙනා ගොර ගොර හඬත් සමඟින් කාලවර්ණ මිනිසාගේ ආයාචනය නැවතත්….“මේ අය මාව මරන්නයි යන්නේ… මට හුස්ම ගන්න බෑ…”
“මගේ බඩ රිදෙනවා. මගේ බෙල්ල රිදෙනවා. හැම තැනම රිදෙනවා…”
“මාව මරන්න එපා.”
“අම්මාාාා. මට වතුර ටිකක් දෙන්න….”

විනාඩි කිහිපයකට පසු මිනිසාගේ උගුරෙන් මතුවූ ගොර ගොර හඬ නවතී. දැඟළීමද නතර වේ. පොලිස් නිලධාරියා මිනිසාගේ ගෙල මත තද කරගෙන සිටි පාදය ඉවතට ගනියි. මිනිසා නිහඬය. නිසසලය. දෙනෙත් පියවී ගොසිනි. නාසයෙන් ගලා එන ලේ, කම්මුල දිගේ රූරා විත් මහපොළොවට මුසුවෙමින් තිබේ. තිරය අඳුරු වේ.

කළුතර දිස්ත්‍රික්කයේ, දර්ගා නගරයේ අඹගහ හන්දිය ආසන්නයේ ඉන්ධන පිරවුම්හල අසල යොදා ඇති පොලිස් සෝදිසි මුරපොළකි. පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් එහි රථවාහන පරීක්ෂා කිරීම්වල යෙදී සිටිති. සිවිල් ඇඳුමින් යුත් පුද්ගලයන් ද එම කටයුත්තට එක්ව සිටින බව පෙනෙයි. පාරේ අනෙක් පසින් පොලිස් මුරපොළ පසුකර යාමට පාපැදියක් පැදඑමින් සිටින ළමයෙකි. රථ වාහන පරීක්ෂාවේ නිරතව සිටි ටීෂර්ටයක් ඇඟලා සිටි අයෙක් ළමයා එන ඉදිරියට වේගයෙන් ගමන් කොට මඟ අහුරයි. පාපැදිය පෙරළී ළමයා එහිම බිම ඇද වැටෙයි.

කලබලයෙන් නැඟිට ගන්නා ළමයා වැටී ඇති පාපැදිය ද ඔසවයි. එකෙණෙහිම ටීෂර්ට්කරුවා ළමයාට පහර දෙන්නට පටන් ගනියි. පහරදෙමින් ළමයා ඉදිරියට තල්ලු කරගෙන එයි. වාහන පරීක්ෂාවේ නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් වේගයෙන් එදෙසට ගමන් කරනු පෙනෙයි. ඉන් දෙදෙනෙක් ද ටීෂර්ට්කරුවා සමග එක්ව ළමයාට පහර දෙන්නට පටන් ගනී. ළමයා දඟලයි. ටීෂර්ට්කරුවා ළමයාව පාර හරහා මුර කුටිය දෙසට ඇදගෙන එයි. මුර කුටිය පසුපසට ගෙනයන ළමයාට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් වටකොට පහර දෙමින් සිටියදී බාහිර පුද්ගලයන් පිරිසක්ද එයට එක්වෙනු පෙනෙයි. පහරදීම එම පිරිසට බාරදී පොලිසිය නරඹන්නෝ බවට පත්වෙති. පහරදීම අතරේ ප්‍රහාරකයෙක් ළමයාගේ දෑත් පසුපසට කොට බඳී. ළමයා තව තවත් දඟළයි. බඳින විටද පිටට පහර දෙති. බැඳීමෙන් පසුවද පහර දෙති. මුහුණ කට බඩ පපුව පුරා එකදිගට වදින මුෂ්ටි පහර වර්ෂාවකට මැදිවූ ළමයාගේ දැඟළීම ක්‍රමයෙන් අඩුවේ. සිරුර ක්‍රමයෙන් මහ පොළාවට පහත් වේ. තිරය අඳුරු වේ.

ඇමරිකාවේ සිදුවීම තවදුරටත් ලෝකයට රහසක් නොවේ. එහිදී මරා දැමුණු ජෝර්ජ් ෆ්ලොයිඞ් නම් කළු ඇමරිකානුවාගේ මරණය සිදුකළ පොලිස් ප්‍රහාරක සුදු ඇමරිකානුවා පසුදාම අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ඔහුට විරුද්ධව මිනීමැරීමේ චෝදනා යටතේ නඩු පැවරී ඇත. එහෙත් එම ඝාතනයට එරෙහිව මතුවූ ජනතා විරෝධය තවමත් අවසානයක් නොදැක ඉදිරියට ගමන් කරමින් තිබෙන්නේ වර්ගවාදයට එරෙහි ලක්ෂ ගණන් ජනතා සහභාගිත්වයෙනි. විරෝධතාවන්ට සුදු ඇමරිකානුවන්ද එක්ව සිටීම කැපී පෙනෙයි. ෆ්ලොයිඩ් මහමග මරා දමන්නේ ඔහු ව්‍යාජ මුදල් නෝට්ටු ගනුදෙනුවක සැකකරුවෙකුවීම නිසාම නොව, කළු ජාතිකයෙකු වීම නිසා බවද තවදුරටත් ලෝකයට රහසක් නොවේ. ඇමරිකානු පොලිසියද සිය සගයාගෙන් සිදුවූ වරද පිළිගෙන ජනතාව ඉදිරියේ දණ නමා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන තැනකට ගියේය. ඒ ඇමරිකාවේය.

ඇමරිකාවේ එසේ වුවද ශ්‍රී ලංකාවේ කළුතර, අලුත්ගම සිදුවීමට අදාළව තත්ත්වය ඊට වෙනස්ය. ‘වටකර නෙළීමේ’ පොලිස් ප්‍රහාරයේ ගොදුර වූ ළමයා මරණයට පත් නොවුවද තුවාල ලැබීය. මෙය ලියන අවස්ථාව වන විටත් ඔහු සිටින්නේ රෝහලක නතර කොට ප්‍රතිකාර කිරීමට පවා නොහැකි, පොලිස් නිල ඇඳුමක් දකින විට පලා ගොස් සැඟවෙන තැතිගත් සහ වික්ෂිප්ත මානසික තත්ත්වයකිනි.

“පුතාගේ වයස අවුරුදු 13 යි. ඒ වුණාට වයස හයක, හතක ළමයෙක් වගේ තමයි වැඩ කරන්නේ. ඒ අසනීප තත්ත්වයට දිගටම බෙහෙත් ගන්නවා. ආබාධිත ළමයින්ට තියන පාසලක පුතා ඉගෙන ගන්නවා. ඇඳිරි නීතිය කිව්වට මෙයාට ඒ ගැන හරි තේරුමක් නෑ. 25වෙනිදා හවස මම නාන වෙලාවේ මෙයා සයිකලේ පැදගෙන අඹගහහන්දිය දිහාට ගිහිල්ලා තියනවා. ආපහු එනකොට පොලිස් චෙක්පොයින්ට් එකේ හිටපු කෙනෙක් බයිසිකලේ හැඬල් එකෙන් අල්ලලා. මෙයා බයිසිකලෙත් එක්කම පාරේ අයිනේ වැටිලා තියනවා. ඒ වෙලාවේ එතන හිටිය පොලිසියේ කට්ටිය ඔක්කොම මෙයාට වටකරගෙන ගහන්ඩ පටන් අරගෙන.

මම නාලා ඉවර වෙලා මිදුලට එනකොට කෙනෙක් ඇවිල්ලා කිව්වා පුතාට අඹගහන්දියේ පොලිස් චෙක් පොයින්ට් එකේ අය වටකරගෙන ගහනවා කියලා. මම බයික් එකක නැගලා එතනට ගියා. ඒ යනකොට පුතාව බල්ලෙක් වගේ ගැටගහලා අයිනක බිම දාගෙන, ඒ පැත්තේ ඉන්න රස්තියාදුකාරයො දෙතුන් දෙනෙක් ගහනවා. පොලිසියේ හතර දෙනෙක් ගහන දිහා බලාගෙන හිටියා. ට්‍රැෆික් එකේ දෙන්නෙකුත් හිටියා. මම එතනට ගිහින් ඇහුවා ඇයි මගේ ළමයට ගහන්නේ කියලා. පොලිසියේ අය කිව්වා මෙයා බීලා ඇවිල්ලා පොලිසියේ රාජකාරිවලට බාධා කළා කියලා. මම ඇහුවා මේ ළමයා ලෙඩෙක් කියලා පේන්නේ නැද්ද, පොලිසිය නේද බීලා ඉන්නේ කියලා. එතකොට මට තර්ජනය කළා දවස් දාහතරක් ඇතුළට දානවා කියලා. ඒත් මම පුතාගේ බැමි ලිහාගෙන එහෙමම පුතත් අරගෙන අලුත්ගම පොලිසියට ගියා”

ඒ දරුවාගේ පියාගේ අත්දැකීම්ය. ඔහු රුපියල් හාරසීයක දවසේ පඩියට වෙළෙඳ සහායකයෙකු ලෙසින් රැකියාවේ නිරත වන්නෙකි. දර්ගා නගරයේ සෙන්ට්‍රල් පාරේ පදිංචිකරුවෙකු වන ඔහුගේ නම ඒ.එච්.එම්. වසීර් ය. වසීර් පවසන්නේ ඔහු දරුවා මුදාගෙන පොලිසියට යාමට සූදානම් වන අවස්ථාවේ ප්‍රහාරය සිදුකළ පොලිස් කණ්ඩායම පුතාටද තමන්ටද තර්ජනය කළ බවය. ඒ නිරෝධායන ඇඳිරි නීතිය කඩකිරීමේ වරදට දවස් 14ක් ඇතුළට යවන බව කියමිනි. එහෙත් ඔහු දරුවාද සමග අලුත්ගම පොලිසියට ගොස් ස්ථානාධිපතිවරයා හමුවී මේ ගැන පැමිණිලි කොට ඇත. පසුව දරුවා ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ගෙන ගිය බවය.

එහෙත් ඇමරිකාවේ මිනිඇපලියා පොලිස් ම්ලේච්ඡ ඝාතනයට මෙන් අලුත්ගම පොලිසියේ ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව පුරවැසියෝ වීදි බැස්සේ නැත. වීඩියෝ පටිගත කොට සමාජ මාධ්‍යයට එක් කළේ නැත. ජනමාධ්‍ය වාර්තා, බ්‍රේකින් නිව්ස් නැත. අඩුතරමින් සාක්ෂියක් ලෙස ප්‍රකාශයක් කරන්නට ඇසින් දුටු කිසිවෙකු ඉදිරිපත් වූයේද නැත. ඒ ඇයි?

“මම ළමයාගේ තුවාලත් පෙන්නලා මේ ගැන කිව්වාම ඕඅයිසී මහත්තයා කිව්වා පරීක්ෂණයක් කරන්නම් දැන් ගෙදර යන්න කියලා. පස්සේ අපි නියෝජ්‍ය පොලිස්පතිතුමාටත් මේ ගැන පැමිණිලි කළා. ළමයා නාගොඩ ඉස්පිරිතාලෙට අරන් ගිය වෙලාවෙත් බයවෙලා පැනලා ගියා. ළමයට වුණේ මොකක්ද කියලාවත් හරියට කියන්න තේරෙන්නේ නෑ. පොලිසියෙන් ගහලා කියලා මම ඉස්පිරිතාලෙදි කිව්වාම දොස්තර මහත්තයා මට කියන්ඩ ඕනේ ඔක්කොම කියලා බැන්නා. මෙහෙ ගෙනාවේ ඇයි අංගොඩ ගෙනියන්ඩ කියලා කිව්වා. ළමයගේ මූණ තුවාල වෙලා ඉදිමිලා තිබුණා. ඒත් කිසිම බේතක් නැතුව මම ළමයාව ත්‍රිවිල් එකක දාගෙන ආයේ ගෙදර අරගෙන ආවා.”

සිදුවීමෙන් සතියක් ගිය තැනද පොලිසිය කියන්නේ පරීක්ෂණයක් කරනවා කියන කතාව පමණි. තමන්ගේ අනුමැතිය යටතේ උදේ සවස සේවා මුරවල යොදවන, එකම සේවා ස්ථානයේ සේවය කරන, උදේ සවස මුණගැසෙන සැකකරුවන්ගෙන්ගෙන් ප්‍රශ්න කොට වැරදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට මෙතෙක් නොහැකි වී ඇත. ඊට හේතු විමසා බලන්නට ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටද නොහැකි වී ඇත. නොඑසේ නම් එසේ කිරීම සිතාමතාම පැහැර හැර ඇතුවාද විය හැකිය. එසේ නම් ඒ ඇයි?

පොලිසිය මාධ්‍යයට සිදුවීම විස්තර කරන්නේ මෙලෙසිනි.

“ඔය කියන ජාතියේ සිද්ධියක් නෙවෙයි ඒක. ඇඳිරි නීතිය දවසේ ළමයෙක් ගිහිල්ලා තියනවා මාර්ග බාධකයක් හරහා. ඒ යනකොට ළමයා මර්ග බාධකයේ නවත්තන්නේ නැතිව ගිහිල්ලා තියනවා. එයා ගිහිල්ලා ආපහුත් ඇවිල්ලා තියනවා. ආපහු එනකොට පොලිසියෙන් නවත්තලා තියනවා. නැවැත්තුවාම එයා කතා කරන්නේ නැතිව පොලිසියත් එක්ක දඟලලා තියනවා. එතකොට එයා වැටිලා තියනවා. අපි එයාව අරන් ඇවිල්ලා එයාගේ තාත්තා ගෙන්නලා තාත්තට බාර දුන්නා.”

කෙතරම් අපූරුද? කෙතරම් දයාර්ද්‍ර ද? ‘මහජන මිත්‍රශීලී ශ්‍රී ලංකා පොලිස්’, සිය තේමා පාඨයට අර්ථපූර්ණ බව එක්කොට ක්‍රියාකර ඇති අයුරු, බහුතරයක් වර්ගවාදී උම්මත්තකයින් සිටින ඇමරිකාවේ ‘මිනිඇපලියා පොලිස්’ ආදර්ශයට ගත යුතු නොවන්නේද? එහෙත් එසේ කිරීමට මිනිඇපලියාට නොහැකි වූයේ, සිදුවීම සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ පුරවැසියෙක් එය මාධ්‍යයට නිකුත් කිරීමත්, ඒ සමගම මිනිසුන් දස දහස් ගණනින් ඊට එරෙහිව වීදි බැසීමත් හේතුවෙනි. ඒ වීඩියෝව නොවන්නට මිනිඇපලියා පොලිසියටද ශ්‍රී ලංකා පොලිසිය අනුව යන්නට හැකියාව තිබිණ.

ශ්‍රී ලංකා පොලිස් ද, මිනිඇපලියා මුහුණ දුන් ගැටලුවටම, මේ වන විට මුහුණ පා සිටින්නේ අසල පිහිටි ගොඩනැඟිල්ලක සවිකර තිබූ සීසීටීවී කැමරාවක, අඹගහහන්දිය පොලිස් මුරපොලේ සිදුවීම පටිගත වී තිබීමත්, එය සමාජ මාධ්‍යයට එක්ව තිබීමත් හේතුවෙනි. අඩුවකට ඇත්තේ එහි හඬ පටියක් නොමැති නිසා ප්‍රහාරයට ගොදුරු වූ ළමයා කළ දේවල් දැකගත හැකි වුවද ඔහු කී දේවල් අසා ගැනීමට නොහැකි වීමය. එහෙත් එය මෙසේ නොවෙන්නට ඇතැයි අපට සිතිය හැකිද?

“අනේ අනේ මට ගහන්න එපා. මාව අතහරින්න. මට ගෙදර යන්න දෙන්න.”
“මේ අය මාව මරන්නයි යන්නේ. මට හුස්ම ගන්න බෑ.”
“මගේ බඩ රිදෙනවා. මගේ බෙල්ල රිදෙනවා. හැම තැනම රිදෙනවා.”
“මාව මරන්න එපා”
“අප්පාාාා… අම්මාාාා. මට වතුර ටිකක් දෙන්න.”

සාමාන්‍ය දරුවෙක් වුයේ වුවද මේ දරුවා, ‘තාරික්’ ගේ වයස අනුව ඔහු ඉගෙනුම ලබනු ඇත්තේ පාසලක හත හෝ අට වසරේ විය හැකිය. එහෙත් සෙමෙන් මනස වැඩෙන දරුවෙකු බැවින් ඔහු ඉගෙනුම ළමන්නේ එවැනි ළමයින් සඳහාම වන විශේෂ පාසලකය. එවැනි දරුවෙක් මෙවැනි විපතකදී වෙන මොනවා කියා කෑගසන්නද?

එහෙත් ෆ්ලොයිඩ්ගේ වේදනා බර හඬට සහ ඛේදනීය මරණයට ඇමරිකානු සමාජය දැක්වූ සංවේදීභාවයෙන් දශමයක හෝ සංවේදීභාවයක් තාරික්ගේ හඬට මෙරට සමාජයෙන් ලැබී නැත. ඒ වෙනුවට සිදුව ඇත්තේ පොලිස් මුරපොලේ වතාවත්හි යෙදෙන අසල්වැසියෝද පොලිසිය සමග එක්වීමය. ඇමරිකානු සමාජය දීර්ඝ කාලයක් තිස්සේ වර්ණ භේදවාදයෙන් බෙදුණු, ඒ මත්තෙහි මරාගන්නා සමාජයක්ව පැවත දැන් ක්‍රම ක්‍රමයෙන් ඉන් ඉවත් වෙමින් සිටින සමාජයකි. එහෙත් සුදු කළු භේදය එහි තවදුරටත් නොපෙනෙන මානයේ ක්‍රියාත්මකවෙමින් පවතී. ෆ්ලොයිඩ්ගේ මරණය එහි එක් ම්ලේච්ඡ ප්‍රකාශනයක් පමණකි.
ලංකාව එහි විරුද්ධ පාර්ශ්වය නියෝජනය කරමින් වේගයෙන් වර්ගවාදය, ජාතිවාදය සහ අන්තවාදය දෙසට ගමන් කරමින් සිටින රටකි. රාජ්‍යයක් වශයෙන් ගත යුතු අනාගත තීරණ සියල්ල ඒ පදනමින් ගනිමින් සිටින රටකි. තාරික් දරුවාට එල්ල කෙරුණු ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයත්, එය යටපත් කිරීමට පොලිසිය දරමින් සිටින ප්‍රයත්නයත්, මහජාතියේ පුරවැසි සමාජයෙන් ඊට ලැබෙමින් තිබෙන ආවරණයත්, අනුග්‍රහයත් පසුබිමේ ඇත්තේ ඇමරිකාවේ වර්ණභේදවාදයටත් වඩා ඉදිරියට යමින් තිබෙන ලංකාවේ අන්තවාදය නොවේ යැයි කිව හැක්කේ කාටද? ඇතැම්විට පොලිසියට කිව හැකිවා විය හැකිය. එසේ නම් ඒ සමගම පොලිසිය පහත දැක්වෙන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු සමාජයට ඉදිරිපත් කළ යුතුය.

1 බාලවයස්කාර දරුවෙකුට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කෙරුණු බවට පැමිණිල්ලක් ලැබුණු විට පොලිසිය සාමාන්‍යයෙන් කටයුතු කරන ආකාරය කුමක්ද?

2.තාරික් සම්බන්ධ පැමිණිල්ල ලැබුණු පසු, ඊටද සමාන අයුරින් කටයුතු කළාද? නැත්නම් හේතු කවරේද?

3.සැකකරුවන් හඳුනා ගැනීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු කොට තිබෙනවාද? තිබේ නම් කවදාද?

4.අඹගහහන්දිය ආසන්න මුර කපොල්ලේ පොලිසිය සමග සේවයට යොදවා සිටින නිල ඇඳුම් නොමැති පුද්ගලයන් කවුරුන්ද? එලෙස යෙදවීමට හේතු කවරේද?

5.අඹගහ හන්දිය පොලිස් මුර කපොල්ලේ සේවයට යොදවා පොලිස් නිලධාරීන් අසල්වැසි තරුණ පිරිස් සමග එක්ව විශේෂයෙන්ම රාත්‍රී කාලයේ මත් ද්‍රව්‍ය (අරක්කු, කසිප්පු, ගංජා ආදිය) පාවිච්චි කරන්නේද? එහි ඵලයක් ලෙස

6.වින්දිතයා වන තාරික් දරුවා පිළිබඳ යම් සැකයක් වී නම් පළමුවර මුරපොළ අසලින් යන විට ඔහුව පරීක්ෂා කිරීමක් නොකළේ මන්ද?

 

ශ්‍රීලාල් සෙනෙවිරත්න – උපුටා ගැනීම රාවය

Social Sharing
විශේෂාංග